රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඊයේ (23) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදී ඇති එම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ තම පුතු වසර 37ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් රට වෙනුවෙන් සිය තරුණ කාලය කැප කළ අයෙකු බවයි.
වයෝවෘද්ධ මවක් ලෙස තම පුතු මෙලෙස රැඳවුම් නියෝගයක් යටතේ සිටීම දැකීම දැඩි වේදනාවක් බවද ඇය සඳහන් කර සිටිනවා.
සිදුවන කිසිදු පරීක්ෂණයක් නතර කරන ලෙස තමන් ඉල්ලා නොසිටින බවත්, චෝදනා තිබේ නම් ඒවා පරීක්ෂා කර සාක්ෂි ඇත්නම් සත්‍යය සොයාගන්නා ලෙසත් ඉල්ලා සිටින ඇය, විමර්ශන සිදුවන අතරතුර තම පුතුගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙස මවක් ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බවයි දක්වා ඇත්තේ.
විමර්ශන සිදු විය යුත්තේ සාක්ෂි මත පදනම්ව බවත්, රැඳවුම යන්න සාක්ෂිවලට ආදේශකයක් නොවිය යුතු බවත් එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.
විශේෂ වරප්‍රසාදයක් නොව යුක්තිය, මනුෂ්‍යත්වය සහ සාධාරණ අවස්ථාවක් පමණක් තමන් අපේක්ෂා කරන බව පවසන සුරේෂ් සලේ මහතාගේ මව, ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටිමින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ තම පුතුට නිදහසේ නීතිය හමුවට මුහුණ දීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.







Leave a Reply