විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව හෙට පස්වරු 1ට ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමයේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සඳහන්.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට පෙර ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණා.
මේ අතර, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර තිබෙනවා.
එම කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් දක්වාත් සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකළ යුතු බවයි නීතිඥ සංගමයේ ස්ථාවරය වී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟද සාකච්ඡාවක නිරත වී තිබුණා.
එහිදී යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ අදහස් ජනාධිපතිවරයා වෙත සෘජුව ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස තමන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව රජීව් අමරසූරිය මහතා සඳහන් කළා.








Leave a Reply