Loading...

වසන්තට වෙඩි තැබුවේ කංජිපානි ඉම්රාන්ද?

අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළ සිදුකළ පුද්ගලයින් තිදෙනෙක් වෙඩි තබා කළ සිද්ධිය විදේශ රටක සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැති පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බව පොලීසිය සැක පළ කරනවා.

අද (08) උදෑසන සිදුවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනයට ලක් වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ ක්ලබ් වසන්ත සහ විදේශයක සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා අතර කලක පටන් දැඩි ආරවුලක් පවතින බවයි.

මිට හේතුව වී ඇත්තේ 2019 වර්ෂයේ දී මාකඳුරේ මධුෂ් නැමැත්තා සහ කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් ඩුබායි හි පැවැත්වූ සාදයක් අතරතුර අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරු ක්ලබ් වසන්ත නැමැති පුද්ගලයා ලබාදී ඇති බවට කංජිපානි ඉම්රාන් තුළ සැකයක් පවතින බවද වාර්තා වනවා.

මේ අතර අතුරුගිරියේ අදාළ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබූ හිස් පතරොම් කොපු 27ම KPI ලෙස ලියා තිබූ අතර ඒ සම්බන්ධව විමර්ශන නිලධාරීන්ගේ දැඩි අවධානයක් යොමු කර ඇති බවද සඳහන්.

KPI ලෙසින් උණ්ඩ කොපුවල ලියා ඇති අකුරුවලින් පැවසෙන්නේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ කෙටි නාමය බවට පොලීසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (08) සවස 6.15ට පමණ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරක් මත බුලත්සිංහල, අයගම, දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී මෙම වෑන් රථය සොයාගෙන ඇති බවයි.

එම වෑන් රථයේ ඉදිරිපස හා පසුපස අංක තහඩු නොමැති අතර ආදායම් බලපත්‍රයේ පිටපතක් ද ඉදිරිපස වීදුරුවේ අලවා ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *