ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවි කිරීමට මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 06ක් කාලයක් පුරා සවි නොකර ගබඩාවක ගොඩ ගසා ඇති බව කෝපා කමිටුවේ දී පසුගියදා අනාවරණය වුණා.
2020, 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා හා වත්මන් කාර්ය සාධනය පිළිබඳව පරික්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් කාරක සභාව වෙත එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී මේ බව හෙළිව තිබුණා.
එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ඒවා හැකි ඉක්මණින් සවි කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසයි.
තවද 2017 වසරේ රුපියල් මිලියන 2.1ක වියදමින් මිලදී ගත් මෙම කැමරාවලට අවශ්‍ය සියළු උපාංග නොමැති බවත් ඉන් කොටසක් පමණක් මිලදී ගෙන ඇති බවත් මෙම කාරක සභාවේදී අනාවරණය වුණා.
එසේම මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වූ නිලධාරීන්ද මේ වන විට ස්ථාන මාරු ලබාදී ඇති බවද කෝපා කමිටුවේ දී හෙළිව තිබෙනවා.
මේ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර එම CCTV කැමරා පද්ධතිය සවි කිරීමට පියවර ගන්නා ලෙසත් එහි ප්‍රගතිය මැයි මස 15ට පෙර දැනුම් දෙන ලෙසත් මෙම කමිටුව ආගමන විගමන නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්.
Leave a Reply