ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වන නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම, බරපතළ අපරාධ වැළැක්වීම සහ ඒවාට එරෙහිව කටයුතු කිරීම සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන සැලසීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණයි.
එමෙන්ම ජාතික සීමා ඉක්මවූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම ද මෙයින් අපේක්ෂා කෙරෙනවා.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද මේ වන විට ලැබී ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මෙන්ම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුව, 2026 මාර්තු 30 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.







Leave a Reply