රටේ සංවර්ධනය යනු ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා නොවිය යුතු අතර, සංස්කෘතිය, ආගමික උරුමයන් සහ ඉතිහාසය සමඟ බැඳුණු සංවර්ධනයක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ලොව දියුණු රටවල් බොහෝමයක් සිය සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඉදිරියට පැමිණ ඇති බවයි.
ඒ අනුව, ග්‍රාමීය ආගමික ස්ථානවල යටිතල පහසුකම් නංවාලීම, සියලු ආගම්වල දහම්පාසල් සංවර්ධනය කිරීම සහ විපත්වලින් හානි වූ ආගමික ස්ථාන යළි ගොඩනැගීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
එමෙන්ම සූර්යබල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ඉඩම් ගැටලු කඩිනමින් විසඳා ව්‍යාපෘති සාර්ථකව ඉදිරියට ගෙන යා යුතු බව ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
ජාතික කෞතුකාගාරය සහ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම කඩිනම් කළ යුතු බවත්, නවීන තාක්ෂණය ඔස්සේ ඉතිහාසය ජනතාවට සජීවී අත්දැකීමක් ලෙස ඉදිරිපත් කළ හැකි කෞතුකාගාර පද්ධතියක් බිහි කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
මේ අතර, මහාභාරකාර දෙපාර්තමේන්තුව සතු දේපොළ පාලනයේ පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා, අදාළ නීති සංශෝධනය කර ජනතා දේපොළ විධිමත් හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා නව නීතිමය රාමුවක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.







Leave a Reply