Loading...

ශ්‍රී ලංකාව හමුවේ බංගලියන්ට පළමු ටෙස්ට් තරඟයෙන් අමිහිරි පරාජයක්

බංග්ලාදේශය සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.

සිල්හෙට්හි දී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 280ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා ශතක රැස් කළ අතර ඔවුන් දෙදෙනා ලකුණු 102 බැඟින් ලබා ගනු ලැබුවා.

විටක ලකුණු 57 ට කඩුලු 5ක් දැවී ගිය අවස්ථාවක කමිඳු සහ ධනංජය විසින් පිටියේ ස්ථාවර වෙමින් ශ්‍රී ලංකාව සටන්කාමි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සිය පිත්තෙන් දායකත්වය ලබා දුන්නා.

ඔවුන් දෙදෙනා එහිදී පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 202ක සබඳතාවක් ගොඩනැගුවා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී Khaled Ahmed සහ Nahid Rana කඩුලු 3 බැඟින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 188ක් ලබාගත් අතර බංග්ලාදේශය වෙනුවෙන් පිතිකරණයෙන් යම් දායකත්වයක් ලබා දීමට දඟ පන්දු යවන ක්‍රීඩක ටයිජුල් ඉස්ලාම් සමත් වුණා.

ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 47ක් රැස්කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් සහ ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 3ක් බැඟින් දවා ගත්තා.

ඒ අනුව ලකුණු 92ක වාසියක් සමඟ සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 418ක් ලබා ගත්තා.

එහිදී නැවතත් ශ්‍රී ලංකා ඉනිමේ පස්වන කඩුල්ල වෙනුවෙන් කමිඳු සහ ධනංජය ලකුණු 173ක සබඳතාවක් ගොඩනගනු ලැබුවා.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී නායක ධනංජය ද සිල්වා ලකුණු 108ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් රැස්කළා.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් මෙහෙදී හසන් මිරාස් කඩුලු 4ක් ද, Taijul Islam සහ Nahid Rana කඩුලු දෙක බැඟින් දවා ගැනීමට සමත් වුණා.

තරඟය ජය ගැනීමට ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2කදී ලකුණු 182කට සියළු දෙනා දැවී ගියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත කඩුලු 5ක් ලබා ගත් අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් බිඳ හෙලුවා.

පළමු ඉනිමේ දී හා දෙවැනි ඉනිමේ දී ශතක වාර්තා කළ නායක ධනංජය ද සිල්වා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය එළඹෙන 30 වැනිදා චිතගොංහී දී (Chattogram) ආරම්භ වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *