කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මේ වන විට කාලය ගෙවන්නේ මහ උළු ගෙදරය. කුරුණෑගල නගරය තුළ තිබූ ඓතිහාසික බුවනෙක රාජ සභා ගොඩනැගිල්ල බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන 2020 ජුලි මාසයේ 14 වන දින හෝ ඊට ආසන්න දිනයකදී කඩා ඉවත් කළේ යැයි කියන නඩුවක් තුෂාර සංජීවට එරෙහිව කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග විය.එම නඩුවේ තීන්දුව අනුව තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට වසර 03 බැගින් වන සිර දඩුවම් සහ රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂ පනස් දහසක වන්දියක් සහ රුපියල් 50,000 බැගින් වන දඩ මුදලක්ද අධිකරණය විසින් නියම කරන ලදි. ඒ 2023 දෙසැම්බර් මස 14 වැනිදාය.
මේ කථාව තුෂාර සංජීව නම් හිටපු නගරාධිපතිවරයා සහ ඔහුගේ සහචරයින් විසින් කුරුණෑගල බුවනෙක රාජ සභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් නම් නොවේ.තුෂාර සංජීව කුරුණෑගල නගර සභාවේ නගරාධිපති ධූරය දරන ලද කාලයේ සිදු කර ඇති බව කියන මුල්‍යමය අලාභයන් කීපයක් පිළිබදව හෙලිදරව් කිරීම මෙම ලිපියේ අරමුණ වී ඇත.
තුෂාර සංජීවගේ මුල්ම රැකියාව වූයේ කුරුණෑගල බස් නැවතුම් පලේ පවත්වා ගෙන යන වැසිකිලිය භාවිතා කරණ අයගෙන් මුදල් එකතු කිරීමය.පසුව ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ අනුහසින් දේශපාලනයට පිවිසි තුෂාර කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපතිවරයා බවට පත් විය.
වැසිකිලියේ ගැහිල්ල
කුරුණෑගල බස් නැවතුම්පල තුළ පවත්වා ගෙන යන වැසිකිලි දෙක මුදල් ආකරයක් බව තුෂාර හොදින්ම දැන ගෙන සිටියේය. මන්ද මෙම ලිපියේ පෙර සදහන් කර ඇති පරිදි තුෂාරද කලක් එම වැසිකිලිය භාවිතා කරන අයගෙන් මුදල් එකතු කිරීම කළ නිසාය.
කුරුණෑගල බස් නැවතුම්පල මෙරට ඇති කාර්ය බහුලම ස්ථානයකි.දවසේ පැය 24 පුරාම කුරුණෑගල බස් නැවතුම් පල ක්‍රියාත්මක වන්නේය.දිවයිනේ සෑම ප්‍රධාන නගරයකටම කුරුණෑගල සිට බස් රථ ධාවනය වන්නේය.මෙම තත්ත්වය සති අන්තයේදී වැඩි වන්නේ පුද්ගලික පන්ති විශාල ප්‍රමාණයක් කුරුණෑගල නගරය තුළ පවත්වා ගෙන යන නිසාය.
විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවට අනුව කුරුණෑගල නගරයේ පවත්වා ගෙන යන වැසිකිළි දෙකෙහි දෛනික ආදායම රුපියල් 70,000 කි.ඒ අනුව මෙම වැසිකිළි දෙකෙන් මාසයකට රුපියල් ලක්ෂ 23 ක පමණක් මුදලක් එකතු විය යුතුය.නමුත් වැසිකිලිය කොන්ත්‍රාත්තුව කරන තුෂාර සංජීවගේ අතීජාතක මිතුරා කුරුණෑගල නගර සභාවට මාසයකට ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 04 ක් වැනි ඉතාමත්ම සුළු මුදලකි.
රාජ්‍ය ආයතනයක් සතු ආදායම් ලබන හෝ නොලබන ස්ථානයක් නඩත්තු කිරීම සදහා පුද්ගලික අයෙකුට ලබා දෙන විට ඒ සදහා විධිමත් ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක කළ යුතු වන්නේය.මෙම ටෙන්ඩර් පටිපාටිය අවම වශයෙන් වසර 03 කට වරක් වත් යාවාත්කාලීන විය යුතුව ඇත.නමුත් කුරුණෑගල නගරයේ ඇති වැසිකිලි නඩත්තු කිරීම සහ රජයේ බස් නැවතුම්පල පිරිසිදු කිරීම සදහා වන ටෙන්ඩරය ලබා දීමේදී ඒ කිසිවක් හිටපු නගරාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර නැත.අඩුම තරමින් ටෙන්ඩර් පිරිනැමීමට පෙර රජයේ තක්සේරුකරුගේ වාර්තාවක් හෝ ලබා ගැනීමට කටයුතු කර නොමැති බව රජයේ විගනන නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.
වැසිකිලිය කොන්ත්‍රාත් ගත් අය එය භාවිතා කරන්නන්ගෙන් ලබා ගන්නා ආදායම මෙම ලිපියේ පෙර සදහන් වේ.නමුත් වැසිලිකිය සදහා සපයා තිබූ ජලය සදහා ජල සම්පත් මණ්ඩාලයට රුපියල් හතලිස් තුන් ලක්ෂ තිස් දහසක හිග මුදලක් අදාල කොන්ත්‍රාත්කරු විසින් 2023 දෙසැම්බර් මස 31 වැනිදා වන විටත් ගෙවීමට තිබී ඇත.එතරම් හිග ජල බිලක් ගෙවීමට තිබියදීත් නැවත වතාවක් පෙර කී හිටපු නගරාධිපතිවරයාගේ අති ජාතික මිතුරාටම වැසිකිලිය 2024 වසර සදහාද බදු දීමට නගර සභා පාලනාධිකාරිය කටයුතු කර ඇත.
ඉහත ටෙන්ඩරය පිරිනැමීමට නිලධාරීන් කටයුතු කර ඇත්තේ අධිකරණයේ නියමය පරිදි සිපිරි ගෙයි උළු ගනන් කළත් කුරුණෑගල බලය තුෂාර සංජීවට තවමත් හීනව වී නොමැති බවට සාක්ෂියක්ද ඉතුරි කරමිනි.
හිතවතුන්ට ගිය සාප්පු සංකීර්ණය
කුරුණෑගල නගරයේ පවත්වා ගෙන යන සාප්පු සංකීර්ණද සල්ලි උල්පතකි. මෙම සාප්පු සංකීර්ණයේ කඩ කාමරයක් ලබා ගැනීම ලෙහෙසි පහසු කාරණයක් නම් නොවේ.එමෙන්ම නගරයේ ඉදිකෙරෙමින් පවතින ඔරලෝසුව කණුව අසල මධ්‍යම වෙළද සංකීර්ණය,වැහැර පොදු වෙළද සංකීර්ණය, ආදී ආර්ථික මර්මස්ථාන වල කඩ කාමර කුලියට ලබා දීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව විගනන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
සාමාන්‍ය ආකාරයට රජයේ දේපලක් බදු ලබා දීමේදී තක්සේරු කරන ක්‍රමවේදයක් ඇත.ඒ අනුව රජයේ තක්සේරුකරු හෝ නම් කරන ලද සුදුසුකම් සහිත පුද්ගලයෙකු විසින් අවම ලංසු මුදල තීරණය කළ යුතු වේ.නමුත් පුදුමට කරුණ වී ඇත්තේ කුරුණෑගල නගර සභාව තමන් සතු දේපල කුලී පදනම මත ලබා දීමේදී අවම ලංසු මුදල තීරණය කර ඇත්තේ ආදායම් පරිපාලකවරයෙකු විසින් වීමය.
නගරයේ බස් නැවතුම්පල සහිත ගොඩනැගිල්ලේ පවත්වා ගෙන යන සාප්පු සංකීර්ණයේ කඩ කාමර 2023 වසර සදහා බදු දීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇත.මෙම ගොඩනැගිල්ලේ කඩ කාමර ලබා ගැනීම සදහා ගිවිස ගත් දිනයේ සිට කුලී මුදල මාසිකව නගර සභාවට ගෙවිය යුතු වේ.නමුත් ඇතැම් කඩ කාමර සදහා වසරකට ආසන්න කාලයක් කුලී මුදල් ගෙවා නොමැති බව අනාවරණය වී ඇත.ඇතැම් කඩ කාමර ගිවිසුම්ගත පුද්ගලයින්ගෙන් බැහැර අයළුවන් විසින් භුක්ති විදින බවද විගනන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.මෙම තත්ත්වයද බදු ගිවිසුම් උල්ංඝනය කිරීමක් වන්නේය.
තවත් අපූරු කථාවක් මෙම විමර්ශණ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.එනම් එක් පුද්ගලයෙකු තමන් ලබා ගත් කඩ කාමරය වෙනුවෙන් රුපියල් 64,06,639 ක මුලක් කුරුණෑගල නගර සභාවට ගෙවීමට ඇත.කඩ කාමරයක් කුලී පදනම මත ලබා ගැනීමේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ යුතු වේ. නමුත් ඉහත කී කඩ කාමරය ලබා දීම වෙනුවෙන් ඇති ලිපි ගොණුවේ තිබෙන්නේ කිසිවෙකු අත්සන් නොකරන ලද හිස් අවබෝධතා ගිවිසුමක් බවද විමර්ශණ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
කුරුණෑගල නගර මධ්‍යයේ ඇති ඉහළ වටිනාකමකින් යුත් ඔරලෝසු කණුව අසල වෙළ සංකීර්ණයේ කඩ කාමර බදු දීමේදීද අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවට විමර්ශණ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.මෙම වෙළද සංකීර්ණයේ බිම් මහලේ කඩ කාමර 23 ක් ඇත.පුදුමයට කරුණ වන්නේ එම කඩ කාමර 23 ම එකම පුද්ගලයෙකුට බදු දීමට කුරුණෑගල නගර සභාව කටයුතු කර තිබීමය.මෙම කඩ කාමර වලින් ඉකුත් 2023 දෙසැම්බර් මස31 වැනිදා වන විට රුපියල් කෝටි 09 කට අධික මුදලක් නගර සභාවට අය විය යුතුව තිබී ඇත.නමුත් එම මුදල අය කර ගැනීමට කුරුණෑගල නගර සභාවේ පාලනාධිකාරිය කටයුතු කර නැත.එමෙන්ම කුලී නොගෙවූ කඩ කාමර නැවත පවරා ගෙන වෙනත් අයට බදු දීමට හැකියාව තිබුනත් කුරුණෑගල නගර සභාව එම වගකීමද පැහැර හැර ඇත.
කඩ කාමර 94 කින් මෙම වෙළද සංකීර්ණය සමන්විත වේ.එම කඩ කාමර අතරින් 31 ක් සදහා අවබෝධතා ගිවිසුම් අත්සන් කර නොමැති බවද විමර්ශණ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
පිරිසිදු කිරීමේ අපිරිසිදුකම
මෙම සාප්පු සංකීර්ණය පිහිටි ගොඩනැගිල්ල දිනපතා පිරිසිදු කිරීම කළ යුතු වේ.මන්ද විශාල පිරිසක් දිනපතා මෙම සාප්පු සංකීර්ණයට තම අවශ්‍යතාවයන් වෙනුවෙන් පැමිනෙන බැවිනි.
2023 වසරේදී සාප්පු සංකීර්ණය සහිත ගොඩනැගිල්ල පිරිසිදු කිරීම සදහා කුරුණෑගල නගර සභාව විසින් ටෙන්ඩර් කැදවා ඇත.එම ටෙන්ඩර් කැදවීමට අනුව ඉදිරිපත් කර ඇති අඩුම ලන්සුව රුපියල් 1,39,500 කි.වැඩිම ලංසුව වී ඇත්තේ රුපියල් 2,50,000 කි.පුදුමයට කරුණ නම් ටෙන්ඩර් පටිපාටිය අමු අමුවේ උල්ලංඝනය කරමින් සාප්පු සංකීර්ණය පිරිසිදු කිරීමේ අවස්ථාව හිමිවන්නේ වැඩිම ටෙන්ඩර් කරුටය.
හිමි ඉඩම් අහිමි කර ගැනීම
කුරුණෑගල නගර සීමාවේ ඇති ඉඩම් වල මිල ඉහළ අගයක් ගනී.ඉඩම් මිල කෙතරම් ඉහළින් තිබුණත් ඒ පිළිබදව වගේ වගක් නැති කුරුණෑගල නගර සභාව තමන් සතුව ඇති ඉඩම් වල නිවැරදි ලේඛණයක් හෝ තබා ගන්නට කටයුතු කර නැති බව අනාවරණය වී ඇත.
කුරුණෑගල නගර සීමාවේ ඇති නගර සභාව සතු ඉඩම් බොහෝමයක විවිධ පුද්ගලයින් විසින් ගොඩනැගිලි ඉදිකර ව්‍යාපාරික ස්ථාන ආරම්භ කර ඇති බවක්ද අනාවරණය වී ඇත.නගර සීමාවේ කිසියම් ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ නම් ඒ සදහා නගර සභාවේ අනුමැතිය අනිවාර්යෙන් අවශ්‍ය වන්නේය.එසේ නම් තමන් සතු ඉඩමක ගොඩනැගිල්ලි ඉදිකිරීම සදහා කුරුණෑගල නගර සභාව වෙනත් පාර්ශවයකට අවසර දුන්නේ කෙසේද යන්න සොයා බැලීම වටින්නේය.එමෙන්ම තමන් සතු ඉඩම් වෙනත් පාර්ශවයන් අතට යාමට නොදී රැක ලබා ගැනීම සදහා නගර සභාව කිසිදු පියවරක් ගෙන නොමැති බව විගනන නිලධාරීන් විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වන්නේය.
කුරුණෑගල – කොළඹ මාර්ගයේ ජයන්තිපුර ප්‍රදේශයේ තිබෙන රූඩ් 01 යි පර්චස් 35 ක ඉඩම පොදු කටයුතු සදහා වෙන් කර තිබී ඇත.නමුත් එම ඉඩම මේ වන විට සභාවේ කිසිදු අවසරයකින් තොරව එක්තරා පුද්ගලයෙකු විසින් තම ව්‍යාපාරික කටයුතු සදහා යොදා ඇති බවක්ද දක්නට ඇත.
කුරුණෑගල නගර සීමාවේ නිශ්ශංක මාවතේ ඇති පර්චස් 27.78 ක ඉඩමට සිදුවී ඇත්තේද ඒ ආනිශංසයමය.එම ඉඩම කීප දෙනෙකු විසින් අත්පත් කර ඇති අතර,එක් අයෙකු එම ඉඩම තුළ ගොඩනැගිල්ලක්ද ඉදිකර ඇත.එම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා නගර සභාව අවසර නොදුන් බව කියයි.ඉඩම අත්පත් කර ගැනීමෙන් නතර නොවී එහි ගොඩනැගිල්ලක්ද ඉදිකරන තුරු කුරුණෑගල නගර සභාව සිට ඇත්තේ මර නින්දේද කියා යම් අයෙකු විමසුවොත් එහි වරදක්ද නැත.
ගාලවත්ත ප්‍රජා ශාලාව පිහිටි ඉඩම 2020 වසරේදී කුරුණෑගල නගර සභාව විසින් මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ අසූවක මුදලක් වැය කරමිනි.නමුත් එම ඉඩමේ අගය 2023 වසර වන විට ව්‍යාජ සටහන් යොදා රුපියල් 19,23,698 ක් ලෙසට අඩු කර ඇත.ලොකු මුදලකට මිලදී ගත් ඉඩමක වටිනාකම කිසිවෙකුත් විශ්වාස නොකරන මුදලක් දක්වා අඩු කිරීමට නගර සභාව කටයුතු කර ඇත්තේ අනාගතයේ කිසියම් බලාපොරොත්තුවක් ඇතිව බව අනුමාන නොකර සිටින්නට හේතුවක් නැත.
මේ ආකාරයට ගත් කළ 2023 වසරේ සිදු කරන ලද විමර්ශණයේදී තවත් අක්‍රමිකතා රැසක් අනාවරණය කර ගැනීමට විගනන නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.ඒ සම්බන්ධයෙන් වන විගනන විමසුම්ද මේ වන විට නිකුත් කර ඇත.
සිදුවී ඇති බව කියන මෙම මුල්‍ය වංචා වලට සෘජු ලෙස වගකිව යුත්තේ හිටපු නගරාධිපති තුෂාර සංජය නම් පුද්ගලයා බවට කිසියම් අයෙකු පවසන්නට පුළුවන.මන්ද ඉහළම දේශපාලන සම්බන්ධතාවයක් හේතුවෙන් ඔහුගේ ක්‍රියාවන් වසා දමා තිබුණු නිසාය.නමුත් දැන් ඉතිං වැඩේ වැරදී ඇත.තුෂාර සංජීව සිටින්නේ පෙර සදහන් කර ඇති පරිදි සිපිරි ගෙදරය.දැන් ඉතිං කළ හැකි එකම දෙය නම් සියළුම වැරදි ඔහු පිටින් පටවා ඊට අනුබල දුන් සියළුම දෙනා දෑත් පිසදා ගැනීමය.හෙට අනිද්දා වන විට එවැන්නක් සිදු වුවහොත් එහිද පුදුමයක් නම් නැත.
සටහන – ජූඩ් සමන්ත












Leave a Reply