ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයට අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය. නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
1943 අගෝස්තු 23 වනදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේ උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා වියේ සිටම ගායනයට සුවිශේෂී දක්ෂතාවයක් දැක්වූවාය.
කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්රයට පිවිසීමට ඇයට මංපෙත විවර විය. කාව්‍ය තරගයකදී ඇය දැක්වූ දක්ෂතාවය නිසාම, කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ “ළමා මණ්ඩපය” ගුවන්විදුලි වැඩසටහනට ඇයව හඳුන්වා දීමට කටයුතු කෙරිණි.
එහිදී ඇය ගායනා කළ “බුදු සාදු” ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ නන්දා මාලනියගේ සංගීත දිවියට නව මංපෙතක් විවර වූ අතර, අනතුරුව සරත් විමලවීර මහතාගේ අනුග්රහයද ඇගේ ශාස්ත්‍රීය සංගීත ගමනට සුවිශාල පිටිවහලක් විය.
1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වන “රන්මුතු දූව” චිත්‍රපටයේ, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකර මහතා සමඟ ඇය ගායනා කළ “ගලන ගඟකි ජීවිතේ” ගීතය ඇගේ පළමු චිත්‍රපට ගීතය ලෙස ඉතිහාසයට එකතු විය.
ඉන්පසුව “සන්නාලියනේ”, “රන් දහදිය බින්දු බින්දු”, “පෙරදා මහ රෑ”, “පහන් කන්ද”, “සත්‍යයේ ගීතය”, “පවන ගී එකතුව” ඇතුළු අතිශය ජනප්‍රිය නිර්මාණ රැසක් හරහා ඇය මෙරට රසික ජනතාවගේ හදවත් දිනාගත්තාය.
ප්‍රේම ගීතවලට පමණක් සීමා නොවී ආගමික, ළමා සහ ප්‍රබල සමාජීය යථාර්ථයන් අඩංගු ගීත රැසක්ද ඇය සංගීත ක්ෂේත්රයට දායාද කළාය. 1990 වසරේදී ඇය නිර්මාණය කළ “සින්දු හෝඩිය” ගීත ඇල්බමය, කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම වෙනුවෙන් කළ සුවිශේෂී නිර්මාණයකි.
දශක හයකට අධික කාලයක් පුරා හෙළ සංගීත කලාවට කළ මෙහෙවර උදෙසා ඇය සරසවිය, ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවාය.
අනන්‍ය වූ ගායන ශෛලියකින් හෙළ සංගීත වංශය පෝෂණය කළ විශාරද නන්දා මාලනියගේ අභාවය, සමස්ත ලාංකීය කලා ක්ෂේත්රයට මෙන්ම සුවහසක් රසික ජනතාවට ද පිරිමැසිය නොහැකි මහඟු පාඩුවකි.







Leave a Reply