අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ති රවී සෙනවිරත්නට එරෙහිව පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාලව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කළ සොයා බැලීමවලදී අනාවරණය වූ කාරණා ගැන පලවන ලිපි පෙළේ පළමු සහ දෙවැනි ලිපි මීට පෙර පළ විය. මේ එහි තුන්වැනි කොටසයි.
ශානි අබේසේකරට එරෙහිව පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාලව එල්ල වූ තවත් චෝදනාවක් වූයේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට අදාලව විමර්ශන නිසි ලෙස ඉටු නොකිරීම සහ ඊට අදාලව ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා නොගැනීමයි. මෙම චෝදනාව සිදු කළ පිරිස් අතර කෑගල්ල දිසා භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති (දැන් විශ්‍රාමික) පාලිත සිරිවර්ධන මහතා ඉදිරියෙන්ම සිටියේය. පාලිත සිරිවර්ධන මහතා සම්බන්ධයෙන් මීට පෙර ලිපිය මගින් කරුණු ඉදිරිපත් කළෙමු.
බුදුපිළිම කැඩීම
කෑල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් පාලිත සිරිවර්ධන මහතා පත් කරනු ලැබුවේ 2018 නොවැම්බර් මාසයේ දී දින 52 ආණ්ඩු සමයේදීය. එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කර ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසිරුවීම කළ කාලයේදීය.
එවකට මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාබුලගේ දොන් දමිත නිලංග මහතාය. ඔහු මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ලෙස පත්වූයේ 2015 දෙසැම්බර් 20 වැනිදා වැනිදාය. මාවනැල්ල පොලිසිය අධීක්ෂණය කරමින් සිටියේ සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතාය. ඊට ඉහළින් සිටියේ කොට්ඨාස භාර පොලිස් අධිරී චාමික වික්‍රමසිංහ මහතාය. ඔහුගේ ප්‍රධානියා වූයේ පෙර කී පාලිත සිරිවර්ධන මහතායි.
මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීම පිළිබඳ මුල්ම සිද්ධිය වාර්තා වූයේ 2018 දෙසැම්බර් මස 23 වැනිදාය. මාවනැල්ල රංදිවෙල හංදියේ පිහිටි බුදුපිළිමයට හානි කළායැයි සුසන්ත කුමාර මහතාගේ පැමිණිල්ලක් ලැබුණු අතර මිරිස්කුඩු හංදියේ තිබූ බුදුපිළිමයට හානි කර ඇති බවට හපුවෙල ගුණරත්න හිමිගෙන් පැමිණිලි ලැබිණි. ඒ් අනුව වහාම මාවනැල්ල පොලිස් ස්ථානය අධීක්ෂණය කළ සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා ද දැනුම්වත් කර මාවනැල්ල පොලිසිය විමර්ශන ආරම්භ කළේය. සහකාර පොලිස් අධිකාරීවරයා මේ සම්බන්ධයෙන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් අතර චාමික වික්‍රමසිංහ මහතා ඒ ගැන දිසා භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාට දැනුම් දුන්නේය.
විමර්ශනය භාර කෙරුණේ අපරාධ අංශයේ ස්ථානාධිපති එච් එම් එස් මංජුල නිලධාරියා වෙතය.
දෙසැම්බර් 23, 24 සහ 25 දිනවල කරන ලද විමර්ශනවලින් මෙම හානිකිරීමට සම්බන්ධ කුමන පුද්ගලයන්ද යන්න ගැන කිසිදු තොරතුරක් අනාවරණය වූයේ නැත.
කරුණු මෙසේ තිබියදී දෙසැම්බර් 26 වැනිදා තවත් සිදුවීම් දෙකක් වාර්තා විය. ඒ මාවනැල්ල පොලිස් වසමේ දිදුලවත්ත ප්‍රදේශයේ සහ හිඟුල ප්‍රදේශයෙනි. එම සිදුවීම් දෙකෙහිද බූපිළිමවලට හානි කිරීම් කර තිබිණි. ලිඳුලවත්තේ බුදුපිළිමවලට හානිකළ බවට සැක කළ පුද්ගලයකු ප්‍රදේශවාසීහු පිරිසක් විසින් අල්ලා විදුලිපහන් කණුවක බැඳ තැබූහ. එලෙස බැඳ තබා පොලිසියට දැනුම් දුන්හ. ඒ් අනුව ඔහු මාවනැල්ල පොලිසියට ගෙන ආ පසු පොලිස් ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීටත්, කොට්ඨාස භාර පොලිස් අධිකාරීටත් දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිටත් දුරකතන ඇමතුම් ලබා දෙමින් දැනුම් දුන්නේය.
විමර්ශන කමල් පෙරේරා යටතට
මෙම සැකකරු මුස්ලිම් ජාතිකයකු වීම නිසාත් හානි කර ඇත්තේ බෞද්ධ ප්‍රතිමාවලට නිසාත් මාවනැල්ල පොලිස් ස්ථානයේ රඳවා සිටියහොත් ගැටලුවක් ඇතිවීමට ඉඩ තිබෙන බැවින් සැකකරු කෑගල්ල මූලස්ථාන පොලිසියට රැගෙන එන ලෙසට ඉහළින් උපදෙස් ලැබිණි. ඉන් පසු මෙම විමර්ශනය සිදු කිරීමට කෑගල්ල කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී එච් ඒ කමල් පෙරේරා මහතා යටතේ විමර්ශන කණ්ඩායමක් පත් කෙරෙිණි. ඒ් අනුව විමර්ශන ආරම්භ වූ අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත තවත් පිරිසක් අත්අඩංගුවට ගැණිනි.
මොහොමඩ් අලුෆර් අහමඩ් අස්ෆාක්, මොහොමඩ් කලීල් මොහොමඩ් අකිල්, අක්බාර් මොහොමඩ් මුතීෆ්, සුෆියර් හුසේන් ඉර්ෂාඩ්, මොහොමඩ් ඊබ්‍රහිම් සහීඩ් සහ මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල් හක් යන පිරිස සම්බන්ධයෙන් කරුණු අනාවරණය වුවද පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ ඉන් කිහිප දෙනකු පමණි. සහීඩ් සහ සාදික් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. 2018 දෙසැම්බර් 26 වැනිදා මාවනැල්ල විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල කරුණාරත්න මහතා විසින් මෙම සිද්ධියට අදාලව බී 11328, බී 11329 සහ බී 11330 අංකවලින් 26 වැනිදා මුල් වරට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
කරුණු මෙසේ වෙද්දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 2018 දෙසැම්බර් 26 වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට සහයෝගය දක්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට දැනුම් දුන් අතර ඔහු ඒ් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට දැනුම් දුන්නේය. ඒ අනුව ශානි අබේසේකර මහතා එම දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 2 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහොට්ටි මුදියංසේලාගේ ජානක මාරසිංහ මහතාට දැනුම් දුන්නේය.
ශානිත් මාවනැල්ලට
පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී විවෘතව සාක්කි ලබා දෙමින් ජානක මාරසිංහ මහතා සඳහන් කළේ 26 වැනිදා රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර දුරකතන ඇමතුමක් ලබා දෙමින් මාවනැල්ලේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට සහයෝගය ලබාදීමට එම ප්‍රදේශයට කණ්ඩායමක් සමග පිටව යන ලෙස උපදෙස් ලබා දුන් බවයි.
මාවනැල්ලේ විමර්ශන අධීක්ෂණය කළ සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා කාලයක් රහස් පොලිසයේ සේවය කළ අයෙක් විය. ඒ අනුව මාවනැල්ලට ගොස් කමල් පෙරේරා හමුවන ලෙස මාරසිංහට උපදෙස් ලැබිණි. රහස් පොලිසියේ පොලිස් කොස්තාපල් සේනාරත්න, උප පොලිස් පරීක්ෂක ඩයස්, පොලිස් සැරයන් විජේරත්න, පොලිස් කොස්තාපල් ධම්මික, පොලිස් කොස්තාපල් දිසානායක සමග ජිප් රියකින් මාරසිංහ පිටව ගියේය. ඔවුන්ගේ රාජකාරිය වූයේ කෑගල්ලෙන් කරන විමර්ශන භාර ගැනීම නොවේ. ඔවුන්ට තිබුණේ කෑගල්ලෙන් කරන විමර්ශනවලට අවශ්‍ය සහයෝගය ලබාදීම පමණි.
විමර්ශනයට සහයෝගය ලබා දීමට මාවනැල්ලට කණ්ඩායමක් පිටත් කර හැරි ශානි අබේසේකර මහතා ද මාවනැල්ල බලා පිටත්වූහ. මාරසිංහගේ කණ්ඩායම මාවනැල්ලට ළඟාවීමට පෙර ශානි අබේසේකර ඇතුළු පිරිස මාවනැල්ලට ළඟා වී තිබුණු බව මාරසිංහ පස්කු කොමිෂන් සභාවේදී ප්‍රකාශ කළේය.
මතු සම්බන්ධයි.
සටහන – තරින්දු ජයවර්ධන
Leave a Reply