පාස්කු ඉරිදා එල්ල කෙරුණු ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් අනාවරණයක්යැයි කියමින් උදය ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක කරුණු පාදක කර ගනිමින් ඔහු සඳහන් කළේ වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා එම ප්‍රහාරයට වගකිව යුතු බව සහ ඔහු වහාම අදාල තනතුරින් ඉවත් කළ යුතු බවයි. මෙම ලිපි පෙළ මගින් ඊට අදාල කරුණු කිහිපයක් සාක්කි සහිතව හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙමු. මේ එහි පළමු කොටසයි.
රවී
දුක්ගන්නා වලව්වේ රවීන්ද්‍ර බණ්ඩාර සෙනෙවිරත්න (රවී සෙනවිරත්න) උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස්සේවයට එක්ව ඉන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී දක්වා උසස්වීම් ලැබ පසුව යලි ශ්‍රී ලංකා පොලිසියට පැමිණියේය. ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ දීර්ඝ කාලයක් කටයුතු කළ අතර බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ද සේවය කර තිබේ. ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ පසු මඩකලපුව දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ අතර පසුව 2012 වසරේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු ලැබීය. 2015 දී ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලැබූ අතර 2019 දෙසැම්බර් 31 වැනිදා ඔහු විශ්‍රාම ලැබීය. ඔහු කෙටි කාලයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරවත්, ත්‍රස්ත මර්දන කොට්ඨාසය බාරවත් කටයුතු කළේය.
විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු දිගින් දිගටම ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි අතර ඒ හේතුව නිසා තමාට බලපෑම් පැමිණි බව රවී සෙනවිරත්න මහතා මීට පෙර MediaLK සමග කළ සම්මූඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
රවී සෙනවිරත්න මහතා බීමත්ව රියපදවමින් අනතුරක් කළේයැයි කියමින් 2023 ඔක්තෝබර් 29 වැනිදා වැල්ලවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරවීමට කටයුතු කළ අතර ඔහු ඒ් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කළේය. එවකට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා STAFF/03/IGP/OUT/05/9120/2023 අංකයෙන් එම පැමිණිල්ල විමර්ශනය කිරීමට සඳහා පොලිස් විශේෂ විමර්ශන එකට වෙත යොමු කළේය. පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එහි අවසන් වාර්තාව 2024 ජුනි මස 18 වැනිදා D/SIU/OUT/4086/2024 අංකයෙන් එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බාර දුන්නේය.
මෙම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙය ඇප දිය හැකි වරදක් බැවින් ඔහුට පොලිස් ඇප ලබා දෙන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස් නීති කොට්ඨායේ උපදෙස් මත පොලිස් ස්ථානාධිපතිගේ සිට ඉහළ නිලධාරීන්ට උපදෙස් දී ඇතත් එම උපදෙස ක්‍රියාත්මක කර නැති බවයි. පොලිස්පතිවරයා තමා දුන් උපදෙස සම්බන්ධයෙන් සටහන්තබා තිබේ. පොලිස් විශේෂ විමර්ශන ඒකකය දේශබන්දු තෙන්නකෝන් වෙත ලබාදුන් වාර්තාවේ දෙවැනි පිටුවේ සඳහන් වන්නේ රිය අනතුර සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරවීමට වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් මංජුල කහඳවල සහ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරකොණ්ඩ ආරචචිගේ තරිඳු මදුශංක කටයුතු කර ඇති බව සාක්කිකරුවන් 08 දෙනකුගේ සාක්කි සහ ලේඛන සාක්කි 02ක් ඇසුරෙන් තහවුරු වන බවයි. එසේම එම නිලධාරීන් දෙදෙනාට ලබාදීම සඳහා අවවාද පත්‍ර සකස් කෙටුම්පත් කර ඒවාද දේශබන්දු තෙන්නකෝන් වෙත බාරදී තිබේ.
මේ කාලය අතරතුර ඔහුට සමගි ජන බලවේගයට සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන බලවේගට සහයේගය ලබා දෙන ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීම් ලැබී තිබුණි. ඉම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔහු ජාතික ජන බලවේගයට සහයෝගය දැක්වීමට තීරණය කළ බව පසුව ඔහු ප්‍රකාශ කළේය. MediaLK මග පැවැති සම්මූඛ සාකච්ඡාවකදී ඔහු මීට පෙර සඳහන් කළේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදී සංවේදී විමර්ශන ගණනාවක් අධීක්ෂණය කළද 2019 ආණ්ඩු මාරුවෙන් පසු එම විමර්ශන අඩපන වූ බවයි. දේශපාලනික අපරාධවලට නීතිය ක්‍රියාත්මන නොකරන තාක්කල් නීතියේ අධිපත්‍ය ස්ථාපිත කළ නොහැකි බවත්, යහපාලන ආණ්ඩුවට සහ රාජපක්ෂ ආණ්ඩුවට එම විමර්ශන ඉදිරියට ගෙන යෑමට වුවමානවක් නොතිබූ බවත්, නීතියේ අධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙතෙක් බලයට පත්වී නැති ජාතික ජනබලවේගයට හැකියාව ඇතැයි විශ්වාස කරන නිසා ඊට සහයෝගය දෙන බවත්ය. ඔවුන් ද නීතියේ අධිපත්‍ය ස්ථාපිත නොකරන්නේ නම් ඔවුන්ගෙන් ඉවත් වන බව ජනාධිපතිවරණයට පෙර රවී සෙනවිරත්න මහතා MediaLK සමග ප්‍රකාශ කළේය.
ශානි
ඥානේන්ද්‍ර ශානි අබේසේකර මහතා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වී ඇති අතර ඔහු ද පසුව පොලිස් විශේෂ කාර්ය බලකායට අනියුක්තවී වසර 10ක කාලයක් සේවය කර තිබේ. ඉන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ඉවත්වී නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනියුක්ත වී ඇති ඒ මහතා 1996 වසරේ දී ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු ලැබ ඇත. කොටුව පොලිස් බල ප්‍රදේශයේදී සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර බෝම්බ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණය සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත වී ඇති අතර එම විමර්ශනයෙන් පසු කොළඹ දිසාවේ නොවිසඳුනු අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස ඔහු පත් කර තිබේ.
ඉන්පසුව පුණ්‍යා ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කරද්දී 1999 ජනවාරි මාසයේ දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්ථිරවම අනියුක්ත කර ඇති අතර එතැන් සිට 2007 වසර දක්වා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන එකයේ පළමු ස්ථානාධිපතිවරයා වී ඇත්තේ ඔහුය. 2007 වසරේ සිට 2009 වසර දක්වා යාපනය සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කර ඇති ශානි අබේසේකර 2009 අප්‍රේල් පළමුවැනි දා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 2010 වසරේ දී මාස එක හමාරක කාලයක් නුගේගොඩ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කර යළි පැමිණි ඔහු 2017 සැප්තැම්බර් 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබිණි.
ඉන් පසු 2019 ජනාධිපතිවරණයෙන් දින කිහිපයකට පසු එනම් 2019 දෙසැම්බර් 20 වැනිදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කර මහනුවර නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කරන ලෙස ඉල්ලමින් එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා යොමු කළ ලිපියක් අනුව ඔහු කිසිම හේතුවක් නැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කිරීමට පොලිස් කොමිසම තීන්දු කළේය. කෙසේ වෙතත් පොලිස්පතිගේ ඉල්ලීම මත මහනුවර නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස යවනවා වෙනුවට පොලිස් කොමිසම ඔහු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස ස්ථානමාරු කළේය. (තොරතුරු පනත අනුව ලබා ගත් පොලිස්පතිගේ ලිපිය පහත දැක්වේ)

මෙම ස්ථානමාරුව සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා 221/2020 අංකයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ අතර 2024 අප්‍රේල් 30 වැනිදා ඊට අදාලව කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය බැලූ බැල්මට පෙනෙන කරුණු ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 12(2) සහ 14(1)(g) යටතේ මූලික අයිතිවාසිකම් කඩ වීම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීරණය කළේය.
ශානි ස්ථාන මාරු කිරීමෙන් පසු රංජන් රාමනායක සමග කළ සාකච්ඡාවක් බව කියමින් 2020 ජනවාරි මාසයේදී වැඩ තහනමට ලක් කළ අතර ඒ් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක්වත් පැවැත්වූයේ නැත. එම හඬපට සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති පුස්සැල්ල මහතා විසින් විමර්ශනයක් පවත්වා ඒවා සංස්කරණය කරන ලද හඬපට බවට වාර්තාවක් ලබා දුන්නේය.
ඒ අතරතුර 2020 මහ මැතිවරණයට දින 05කට පෙර එනම් 2020 ජූලි 31 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. බන්ධනාගාරයේ දී ඔහුට කොරෝනා ආසානය වූ අතර එම බන්ධනාගාරයෙන් කොවිඩ් ආසදනය වූ පළමුවැනියා ඔහු වන නිසා ඔහුට කොවිඩ් වැලඳීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද යන්න ගැන ඒ දිනවල සැක මතුවිය. අබේසේකර මහතාගේ බිරිඳ ඔහුට ඇප ඉල්ලමින් ගොනු කළ CA/CPA/18/2021 අභියාචනයේ තීන්දුව 2021 ජුනි 16 වැනිදා ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව ශානි අබේසේකරට ඇප නියම විය. අභියාචනාධිකරණ ඇප නියෝගයේ සඳහන් වන්නේ පසු ඇතිවූ සිතිවිල්ලක් මත ශානි අබේසේකරට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවයි.

තීන්දුතීන්දුවේ මෙසේ ද සඳහන් විය. (නඩු වාර්තාවේ අදාල කොටසේ සරල සිංහල පරිවර්ථනයකි)
‘මෙම චෝදනාවට ලක්ව ඇති වරද සිදුවී ඇත්තේ 2014.03.11 වීම සහ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සීඅයිඩීයට ලැබී ඇත්තේ 2020.06.09 වීමත්, කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී ඇත්තේ 2020.06.24 වීමත් සැලකිල්ලට ගැනීම වැදගත් වේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර ශානි අබේසේකර සතුව කිසිදු නීතිවිරෝධී ආයුධයක් නොතිබූ අතර, ඉහත සඳහන් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ හැරුණු විට එම ආයුධ සන්තකයේ තබාගැනීම සම්බන්ධව සැලකිය යුතු සාක්ෂි නොමැත. සැකකාර ශානි අබේසේකරට එරෙහිව පූර්ව වැරදි හැසිරීමක් හෝ වරදකරුවෙකු වූ අවස්ථා කිසිවක් නොමැත. සැකකරුට එරෙහිව නඩු පවරා නොමැත. සැකකරු අධිකරණ බලයෙන් සහ නීතිමය ක්‍රියාවලියට යටත් නොවී පලායනු ඇතැයි සාධාරණ ලෙස යෝජනා කිරීමට කිසිදු සාක්ෂියක් නොමැත.
සැකකරු ශානි අබේසේකර මහතා සාක්ෂිකරුවන්ට හෝ ඔහුට එරෙහි සාක්ෂිවලට මැදිහත් වනු ඇති බවට හෝ වෙනත් ආකාරයකින් යුක්තිය පසිඳලීමට බාධා කරනු ඇති බවට පැවසීමට කිසිදු සාක්ෂියක් මෙම අධිකරණය ඉදිරියේ නොමැති බව පෙන්වා දීමට කැමැත්තෙමි.
සැකකාර ශානි අබේසේකර මහතා සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු ඇති බවට සාක්ෂි අධිකරණයට ඉදිරිපත් වී නැති බව ද දැක්වීමට කැමැත්තෙමි.
සෑම හැකියාවක්ම තිබියදීත් පළමු පැමිණිල්ල දැමීමට අසාමාන්‍ය සහ සුවිශේෂී ලෙස ප්‍රමාද වීම මඟින් පෙන්නුම් කරන්නේ ශානි අබේසේකරට එරෙහි චෝදනා අසත්‍යව සහ අලංකරණය කරන පසුව ඇතිවූ සිතුවිල්ලක් මත කරන ලද ඒවා බව මගේ මතයයි.
ඉහත සඳහන් අසාමාන්‍ය සහ සුවිශේෂ ප්‍රමාදය හේතුවෙන්, පැමිණිල්ලේ ස්වයංසිද්ධතාවයේ වාසිය අහිමි වී ඇතිවා පමණක් නොව, 2020 දී එකී සාක්ෂිකරුවන් විසින් ලබා දුන් ප්‍රකාශ 2014 දී ඔවුන් දුන් ප්‍රකාශයන්ට පරස්පර විරෝධී බව පැහැදිලිය.
මිනීමැරුම් පිළිබඳ වැරදිකරුවන්ගේ හෝ ආධාරකරුවන්ගේ හෝ ඔවුන්ගේ සහකරුවන්ගේ ප්‍රකාශයන් මත, සැකකරුට එරෙහිව බී / 1536/20 යටතේ උගත් ගම්පහ මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කර ඇත. මෙම ස්ථාවරය සනාථ කිරීම සඳහා විශ්වාසනීය සාක්ෂි අධිකරණයේ අවධානයට යොමු කර නොමැත. 2014/02/24 දින විල්වලආරච්චි අත්අඩංගුවට ගෙන කලගෙඩිහේන, රනිස්වල, අංක 107/01 ස්ථානයෙන් ගිනිඅවි සහ උණ්ඩ සොයා ගැනීමෙන් පසු 2014 පෙබරවාරි මස 27 වැනිදා බී/3250/03/2014 දරන නඩුව ආරම්භ කර තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් අනුවය. මෙම තීන්දු සඳහා හේතු මෙම අධිකරණය ඉදිරියේ නැත.
පෙත්සම්කරුගේ තර්කය වූයේ වසර හයකට පසු, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ හිතවතුන් යැයි කියනු ලබන සමහර සාක්ෂිකරුවන් බොරු චෝදනා ඉදිරිපත් කර ඇති බවයි. දණ්ඩ නීති සංග්‍රහය යටතේ “ව්‍යාජ ගොතන ලද සාක්කි” යටතේ වැරදි සිදු කර ඇති බවට වූ අවිධිමත් චෝදනාවක් මත කිසිදු විශ්වාසදායක හෝ සාධාරණ සාක්ෂියක් නොමැතිව පීඩාකාරී ආයුධ පනත, ගිනිඅවි ආඥා පනත සහ පුපුරණ ද්‍රව්‍ය පනත යටතේ සැකකාර ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ගම්පහ උගත් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.’’
ඇප ලැබණු ශානි අබේසේකරට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග නොගන්නා බව නීතිපතිවරයා 2023.07.28 වැනිදා WP1/44/2020 අංකයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමෙන් පසු ඔහු 2023 අගෝස්තු 25 වැනිදා නිදහස් කෙරිණි. (තොරතුරු පනත යටතේ ලබා ගත් නීතිපතිවරයාගේ ලිපිය පහත දැක්වේ.)

හඬ පට සම්බන්ධයෙන් වැඩ තහනම් කර සිටි ශානි අබේසේකර මහතාගේ සියලුම හිඟ වැටුප් ගෙවීමට 2023 ජුනි 28 වැනිදා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළ අතර කොමිසම 2023 ජූලි 06 වැනිදා ඒ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත දැනුම් දුන්නේය. (තොරතුරු පනත යටතේ ලබා ගත් එම ලිපියේ පිටපතක් පහත දැක්වේ.)

චෝදනා
ශානි අබේසේකරට සහ රවී සෙනවිරත්නට එරෙහිව වැඩිපුරම පාස්කු චෝදනා එන්නට පටං ගත්තේ ආණ්ඩු මාරුවත් සමගය. එය ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ සිදුවිය. ශානි අබේසේකරට එරෙහිව දිගින් දිගටම චෝදනා කළ පුද්ගලයකු වූයේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාය. ඔහු මුලින්ම චෝදනා කළේ බුදුපිළිම සිදුවීම සම්බන්ධයෙන් තමන්ගේ දැනුම්දීම මත ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගැනීම සඳහා ශානි අබේසේකරට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගෙන මාසයකට පමණ කාලයක් ආසන්න වෙද්දි එය ප්‍රතික්ෂේප කරමින් අබේසේකර ලිපියක් එවූ බවයි.
ඉන් පසු චොදනා කළේ කුලියාපිටියේ පිහිට සහරාන්ගේ බිරිඳ වන හාදියාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගියද සාරා ජස්මින් අත්අඩංගුවට ගෙන නැති බවයි. එසේම එදින නිවස අසල රැකවල් දැමීමට නිලධාරීන්ට ඉඩ නොදීම නිසා එදින හාදියා කැඳවාගෙන යාමට පැමිණි සාරා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවට තවත් චෝදනාවක් විය.
තුන්වැනි චෝදනාව වූයේ බුදුපිළිම විමර්ශනයට අදාලව ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නොයෙදවීමයි.
හතර වැනි චෝදනාව වූයේ නිලන්ත ජයවර්ධන 2019 අප්‍රේල් 09 වැනිදා යොමු කළ ලිපියට අදාලව ප්‍රහාරය එල්ලවනතුරු ක්‍රියාමාර්ග නොගත් බවයි.
ඉහත සියලු චෝදනා සම්බන්ධයෙන් කළ සොයාබැලීම්වලදී අනාවරණය වූ තොරතුරු එකිනෙක දීර්ඝ වශයෙන් ඉදිරියේදී පළකෙරේ.
සටහන – තරින්දු ජයවර්ධන
Leave a Reply