Loading...

පළමු චෝදනාවෙන් ශානි සහ රවී නිදහස් – ගම්මන්පිලගේ චෝදනාවේ ඇත්ත කතාව 02

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රවී සෙනවිරත්න සම්බන්ධයෙන් මීට පෙර ලිපියෙන් කරුණු අනාවරණය කළෙමු. එම ලිපිය අවසන් කළේ මෙම දෙදෙනාට එරෙහිව පාස්කු විමර්ශනවලට අදාලව විවිධ පාර්ශ්ව එල්ල කළ චෝදනාවලිනි.
මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගැනීම සඳහා කෑගල්ල කොට්ඨාසයෙන්  ශානි අබේසේකරට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගෙන මාසයකට පමණ කාලයක් ආසන්න වෙද්දි එය ප්‍රතික්ෂේප කරමින් ලිපියක් එවීම,  කුලියාපිටියේ පිහිටි සහරාන්ගේ බිරිඳ වන හාදියාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගියද එහි සිටි සාරා ජස්මින් අත්අඩංගුවට නොගැනීම, එදින නිවස අසල රැකවල් දැමීමට නිලධාරීන්ට ඉඩ නොදීම නිසා එදින හාදියා කැඳවාගෙන යාමට පැමිණි සහරාන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම, බුදුපිළිම විමර්ශනයට අදාලව ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නොයෙදවීම සහ නිලන්ත ජයවර්ධන 2019 අප්‍රේල් 09 වැනිදා යොමු කළ ලිපියට අදාලව ප්‍රහාරය එල්ලවනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග නොගැනීම ගැන ශානිට සහ රවීට පාර්ශ්ව කිහිපයක් චෝදනා කළහ.
එම චෝදනා කළ පිරිස් අතර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා ඉදිරියෙන්ම සිටියේය. චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පෙර චෝදනා කළ පිරිස් සම්බන්ධයෙන් මුලින්ම සොයා බැලීම වැදගත් වන්නේ ඇතැම් විමර්ශනවල ඇති ලබැඳියාවන් අතර ගැටුම ගැන අවබෝධ කර ගැනීම පිණිසය.
පාලිත සිරිවර්ධන
ශානිට සහ රවීට වරින් වර චෝදනා කළ ලේකම්වසම් පාලිත රොහාන් සිරිවර්ධන මහතා 1979 වසරේ දී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට බැඳී ඇති අතර 1986 වසරේ දී පොලිස් පරීක්ෂක ධුරයටත්, 1993 වසරේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයටත්, 2006 වසරේ දී සහකාර පොලිස් අධිකාරී ධුරයටත්, 2010 වසරේ දී පොලිස් අධිකාරී ධුරයටත් උසස්වීම් ලැබීය. පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට උසස්වීම් ලැබූ ඔහු 2018 වසරේ නොවැම්බර් මාසයේදී වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කළ අතර 2019 ජුනි 05 වැනිදා ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ලබා ගත්තේය.
ඔහු කෑගල්ල දිසා භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කරනු ලැබුවේ 2018 නොවැම්බර් මාසයේ දී දින 52 ආණ්ඩුව සමයේ ජාතික පොලිස් කොමිසම විසිනි. ඊට පෙර ඔහු කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියේය. ඔහුට වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීමක් පොලිස් කොමිසමෙන් අනුමත කර තිබියදී එවකට පොලිස්පති පූජිත් ජයනුස්දර මහතා දිගින් දිගටම ඔහුට වැඩබලන පොලිස්පති උසස්වීම ලබාදීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් 2018 නොවැම්බර් මාසයේදී දින 52 ආණ්ඩු සමයේ දී ඔහු කෑගල්ල දිසා භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කෙරිණි. ඔහු එවකට ප්‍රකාශ කළේ පූජිත් ජයසුන්දර මහතා තමාගෙන් පෞද්ගලික පලිගැනීමක් සිදුකරන බවයි.
ඔහු උසස්වීම් ලැබීමට පෙර කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියදී 2016 ඔක්තෝබර 18 දින කිලිනොච්චි කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කිලිනොච්චි කොට්ඨාසයට අයත් නොවන පුදුකුඩුඉරිප්පු පොලිස් වසමේ දේවපුරම් ප්‍රදේශයට ගොස් වලක් හාරන බවට පුදුකුඩුඉරිප්පු පොලිසියේ දිවා මුර සංචාරයේ සිටි නිලධාරීන් පිරිසක් කළ දැනුම්දීමක් මත විමර්ශනයක් ආරම්භ වී තිබේ.
ඩබ්ලිව්.පී එල් ජී 9572 දරණ සුදු පැහැති බොලරෝ වර්ගයේ පොලිස් කැබ්රථයක් හා කළු පැහැති කැබ් රථයකින් කිලිනොච්චි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ එවකට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තලවත්ත නිලධාරියා, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු, පොලිස් කොස්තාපල් රියදුරකු සහ තවත් සිවිල් පුද්ගලයකු පැමිණ මෙම කැනීම කර ඇති අතර තලවත්ත නිලධාරියාගේ පැමිණීමේ සහ පිටවීමේ සටහන්වල කොට්ඨාස භාර පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාගේ නියෝග පරිදි කටයුතු කළ බව සටහන් කර තිබී ඇත.
අඩි හතරක් දිග, අඩි තුනක් පළල සහ අඩි 01ක් ගැඹුරු වලක් ඒ වන විටත් හාරා තිබී ඇති අතර අදාල ප්‍රදේශයේ තවදුරටත් ගිනිඅවි සහ රත්‍රන් වළදමා ඇති ප්‍රදේශයක් බවට ද විශ්වාස කරන හෙයින් පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා මේ ගැන ඉහළට දැනුම්දී තිබේ. ඒ අනුව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් ඒ ඒ සරත් කුමාර මහතා විසින් මූලික විමර්ශනයක් සිදු කිරීමට එවකට වන්නි දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කළේය.  එම විමර්ශනයේදී නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ නීති විරෝධී ගිනිඅවියක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත කොට්ඨාස භාර පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධනගේ වාචික උපදෙස් අනුව වෙනත් කොට්ඨාසයක සහ වෙනත් පොලිස් වසමක පිහිටි අදාල ප්‍රදේශයට ගිය බවයි. කෙසේ වෙතත් මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පොලිස්පති චක්‍රලේඛ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මෙම කැනීම සිදු කර ඇති බවයි.
ඒ අනුව මූලික විමර්ශනය කළ දේශබන්දු තෙන්නකෝන් මහතා කිලිනොච්චි කොට්ඨාස භාර පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධනට අපකීර්තිදායක හැසිරීම, අණට අකීකරුවීම, රාජකාරිය පැහැරහැරීම සහ විනය කඩ කිරීමට ආධාරකරුවකුව සිටීම යන චෝදනා යටතේ චෝදනාපත්‍ර ලබාදීමට නිර්දේශ කළේය. කෙසේ වෙතත් පාලිත සිරිවර්ධන මහතා චෝදනා කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම මූලික පරීක්ෂණය හරියට සිදු නොකළ බවයි. තෙන්නකෝන් මහතා ද මූලික පරීක්ෂණයේදී පාලිත සිරිවර්ධන මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කළ යුතු වුවද එසේ කැඳවීමකින් තොරව පාලිත සිරිවර්ධනට අවශ්‍ය පරිදි ප්‍රකාශය සටහන් කර එවීමට කටයුතු කළ බව සිරිවර්ධන මහතාම චෝදනා කළේය.
මෙම මූලික විමර්ශනය පදනම් කරගනිමින් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා 2017 ජනවාරි 25 වැනිදා පොලිස්පතිවරයාට වාර්තාවක් යොමු කළ අතර එම වාර්තාවේ 11 ඡේදය යටතේ නිර්දේශ කර ඇත්තේ සිරිවර්ධන මහතා කිසිදු ක්‍රියාකාරී හෝ ක්‍රියාකාරී නොවන කොට්ඨාසයක් භාරව පත් කිරීමට යෝග්‍ය නොවන බැවින් ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුද්ගලික සහකාරවරයකු ලෙස ස්ථාන මාරු කිරීමට සුදුසු බවයි.  (තොරතුරු පනත යටතේ ලබා ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාර්තාවේ පිටපතේ පළමු පිටුව පහත දැක්වේ)
මෙම වාර්තාව ලද පසු 2017 ජනවාරි 31 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කර 2017 පෙබරවාරි 07 වැනිදා වන විට අතුරු වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දෙමින් එවකට පොලස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට ලිපියක් යොමු කළේය. (තොරතුරු පනත යටතේ ලබා ගත් එම ලිපියේ පිටපතක් පහත දැක්වේ)
රවී සෙනවිරත්න මහතා එය එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ සුදත් නාගහමුල්ල මහතාට යොමු කළ අතර  ඔහු එය සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාට යොමු කරන ලදුව අපරාධ විමර්ශනය  බාර දෙනු ලැබුවේ එවකට විශේෂ විමර්ශන ඒකක 3 හි පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා නිලධාරියා වෙතය.
කෙසේ වෙතත් විමර්ශනයට අදාල අතුරු වාර්තාව පොලිස්පති වෙත යොමු කිරීමෙන් පසු විමර්ශනය නිසි ආකාරයට වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැහැදීමක් නැති බව දැනුම්දී තිබේ. ඊට හේතුවී ඇත්තේ කැනීම් කළ ස්ථානයට අදාලව පුරාවිද්‍යා වාර්තාවක් ඉල්ලා එය ලැබෙන තෙක් බව කියමින් විමර්ශන කටයුතු සිදු නොකිරීමයි. ඒ අනුව 2017.03.03 දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කරමින් පොලිස්පතිගේ නිරීක්ෂණ සමග තමන්ද එකග වන බැවින් විමර්ශනය වෙනත් අංශයක් වෙත යොමු කරන ලෙසත්,  විමර්ශන නිලධාරියා රාජකාරි පැහැර හැරීම ගැන එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ලවා මූලික පරීක්ෂණයක් සිදු කරන ලෙසත් දැනුම් දුන්නේය. (තොරතුරු පනත යටතේ ලබා ගත් එම ලිපියේ පිටපතක් පහත දැක්වේ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂවරයා එදිනම එම ලිපිය ශානි ආබේසේකරට යොමු කළේය. එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ විමර්ශනයට පිටව යන බවට ව්‍යාජ සටහන් යොදමින් ඉන්දුක සිල්වා නිලධාරියා විමර්ශනය සඳහා ගොස් නැති බවයි. ඒ අනුව කළ මූලික පරීක්ෂණයෙන් පසු ඔහු ස්ථාන මාරු කිරීමට නිර්දේශ කෙරෙිණි.
පාලිත සිරිවර්ධන මහතා ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ සම්බන්ධීකාරක ලෙස පත් කළ අතර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ගොනු පරීක්ෂා කළ බව MediaLK සමග පැවැත්වූ සාකච්ඡාවකදී මීට පෙර සඳහන් කළේය.
චෝදනා අංක 01
ශානි අබේසේකර මහතාට සහ රවී සෙනවිරත්න මහතාට එරෙහි එක් ප්‍රධාන චෝදනාවක් වූයේ පාස්කු ප්‍රහාරයට අදාලව ඔවුන් රාජකාරි පැහැර හැර ඇති බවයි. ඒ බව සඳහන් නිර්නාමික පෙත්සමක් 2020 අගෝස්තු මාසයේ දී මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් එවකට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට යොමු කළ අතර චන්දන වික්‍රමරත්න මහතා 2020 අගෝස්තු 30 වැනිදා STAFF-DIG/IG/OUT/05/4812/2020 අංකයෙන් එය විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයකින් පසු එය එවකට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා 2020 ඔක්තෝබර 28 වැනිදා DIG/CID/UGP/5422/2/C955 (මගේ අංකය C45/19cm) අංකයෙන් වැඩබලන පොලිස්පති වෙත වාර්තාවක් ලබා දුන්නේය. (තොරතුරු පනත යටතේ ලබා ගත් එම වාර්තාවේ පිටපතක පළමු පිටුව පහත දැක්වේ)
එමගින් නියෝජ්‍ය පොලිස්පතිවරයා වාර්තා කළේ සහාරන් ඇතුළු අන්තවාදීස් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් ඊට අදාල ඉදිරි කටයුතු සිදු නොකිරීම යන චෝදනාව පිළිගත නොහැකි බවයි. එසේම වනාතවිල්ලුව සම්බන්ධයෙන් ද විමර්ශන සිදු නොකළ බවට වන චෝදනා ද ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.
සෙසු චෝදනා සහ ඒ් සම්බන්ධයෙන් අනාවරණය වන තොරතුරු ගැන මීළඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න.

සටහන – තරින්දු ජයවර්ධන


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *