Loading...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටුවන්නේ කවදාද?

රොබින්සන් කෲසෝ මෙන් කිසිවෙකු නොමැති දූපතක තනිව ජීවත්වීමට අපට නොහැක. දුකේදීත් සැපේදීත් අප අසල රැඳෙන්නේ අපේ සමීපතමයන්ය. මෙකී බැඳීම නිසා ඔවුන්ගේ වියෝවීම් අප සිත් කම්පනය කරයි. එය මිනිසාට පමණක් නොව සමස්ත ජීවී සත්ත්වයාටම පොදු වූ ධර්මතාවයකි. බලහත්කාරයෙන් අතුරුදන් කරවීමේ ගැටළුව ජාති, ආගම්, කුල ,පාට, පක්ෂ බේද ඉක්මවන සංවේදී ගැටලුවක් වන්නේ එබැවිනි. තම සමීපතමයාට සිදුවූයේ කුමක්දැයි නොදැනම වසර ගණනාවක් තිස්සේ ඉකිලන දරුවන් අහිමිවූ දෙමාපියන්, සහෝදරයන් අහිමිවූ සහෝදර සහෝදරියන්, ස්වාමිවරුන් අහිමිවූ බිරින්දෑවරුන්, දෙමාපියන් අහිමි වූ දරුවන්, පෙම්වතුන් අහිමිවූ පෙම්වතියන්, ළබැඳියන් අහිමි වූ මිතුරු මිතුරියන් අදී සියල්ලන්ගේම හදවත් දවාලන දවාලන මේ ගැටළුවට තවමත් විසඳුමක් ලැබී නැත.

අසූව දශකයේ සිට මේ දක්වා උතුරේ  යුද්ධයේදී මෙන්ම දකුණේ භීෂණ සමයේදී අතුරුදහන් වූවන් සංඛ්‍යාව හැටපන්දහස ඉක්මවයි. යහපාලන ආණ්ඩු සමයේ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කරන ලද අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව විසි දෙදහසක් පමණ වේ. අතුරුදහන් වූ හමුදා සෙබලුන් තුන්දාහක් පිළිබඳ වූ පැමිණිලිද ඊට අයත්ය එම රජය සමයේ ඉන් පැමිණිලි පහළොස් දහසක පමණ විමර්ශන ආරම්භ කරන ලදී. 

           යුද සමයේ අතුරුදහන් වූවන් රඳවා ගෙන සිටින ස්ථාන පිළිබඳව තොරතුරු  හෙළි කළහොත් ඒ පිළිබඳ තොරතුරු සොයා බලන බවට හිටපු  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වරක් ප්‍රකාශ කළේය. 2017 මැයි.)  ඊට පිළිතුරු දෙමින් ත්‍රිකුණාමල මව්වරුන්ගේ සංවිධානයේ සභාපතිනි සෙබස්තියන් දේවී මහත්මිය ප්‍රකාශ කළේ අතුරුදහන් වූ තම ඥාතීන් රඳවාගෙන සිටින ස්ථානයක් පිළිබඳව නොදන්නා නමුත් ඔවුන් පැහැරගත් පුද්ගලයන්ගේ නම්- ගම් ඇතුළු විස්තර තමන් සතුව ඇති බවය. ඔවුන් චෝදනා කරන්නේ අතුරුදහන් වූ තම ඥාතීන් නිදහස් කිරීමට යැයි කියමින් රුපියල් කෝටියකට වඩා ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවය.

            ඉන් අනතුරුව එළඹුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේද එම කාර්යාලය කිසිදු ප්‍රතිපාදන කප්පාදුවකින් තොරව පවත්වාගෙන යන ලදී එහෙත් ගෝඨාභය ජනාධිපතිවරයාගේ මතය වූයේ අතුරුදහන් වූවන් මරණයට පත්ව ඇති බවයි. 2016 අගෝස්තු මාසයේ යහපාලන රජය මගින් පාර්ලිමේන්තු විවාදයකටවත් ඉඩ නොතබාඅතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත සම්මත කරගත් බවත් , එය කාර්යාලයක් සතු බලතල ඉක්මවා ගිය සිතාසි නිකුත් කිරීමට, සාක්ෂිකරුවන් කැඳවීමට, විභාග කිරීමට, ඕනෑම හමුදා කඳවුරක් පොලිස් ස්ථානයක් බන්ධනාගාරයක් වරෙන්තු රහිතව සෝදිසි  කර ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගැනීමට බලතල සහිත ආයතනයක් බවත් එවකට අගමැති  මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් මගින් 2020  ජුනි 26 දින චෝදනා කර තිබේ.

         ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිවාරයේදී මහ කොමසාරිස්වරියගේ වාර්ෂික වාර්තාව පිළිබඳ අන්‍යෝන්‍ය සංවාදය අවස්ථාවේදී  ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් ප්‍රකාශයක් කරනු ලැබීය. ඉන් කියවුණේ ශ්‍රී ලංකා රජය  දේශීය ප්‍රමුඛතා  සහ ප්‍රතිපත්තිවලට අනුකූලව එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය , එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවයට පත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ධාරිතා සංවර්ධනය හා තාක්ෂණික සහාය ලබා දීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් අඛණ්ඩව කටයුතු කරන බවයි.

             බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික සම්මුතිය ( ICPPED)  සම්මත කිරීම මෑත කාලීනව මෙම ගැටලුව සඳහා ගන්නා ලද එක් පියවරකි. ඒ යටතේ 2023 ජූලි දොළොස් වන දින වන විට උතුරු  නැගෙනහිර යුද්ධයෙන් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ  පවුල් 203කට රුපියල් 40,600,000. මුදල් වන්දි ලබා දී තිබුණි. මාසිකව රුපියල් හය දහසක  දීමනාවක්  අතුරුදන් වූවන්ගේ යැපෙන්නන්ට  ගෙවන ලදී.

            එහෙත් බොහෝ වින්දිතයන් මෙම දීමනාව සලකනුයේ ඔවුන්ගේ කට වසා තැබීමකට රජය දරන වෑයමක් ලෙසිනි. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ අතුරුදහන්  වීම් පිළිබඳව සත්‍ය දැන ගැනීම, අතුරුදහන් වූවන් වෙනුවෙන්  යුක්තිය ඉටුවීම,  වන්දි ලබා ගැනීම ,  නැවත මෙවැනි අතුරුදහන් කරවීම් සිදු නොවන බවට සහතික වීමට වින්දිතයාට ඇති අයිතිය ආරක්ෂා කිරීම යන කරුණු ඉටු කර ගැනීමයි

         CHCHR කාර්යාලයේ වාර්තාවට අනුව අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට වන මානසික බලපෑම පිළිබඳව රජයේ අවධානය යොමු කිරීම වැදගත්ය  එසේම මෙම සමීපතමයන්ගේ අහිමිවීම නිසා ඔවුන් පත්වන සමාජයීය  හුදෙකලාභාවයෙන් වින්දිතයන් ආරක්ෂා කළ යුතුව තිබේ.  එම පුද්ගලයන් මරණයට පත් වී තිබේ නම් ඔවුන්ට නැවත ජීවිත ලබාදිය නොහැක .එහෙත් ඔවුන්ගේ අහිමිවීමෙන්  ජනතාවගේ සමාජ ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අනිවාර්යයෙන් ඉටු කළ යුතු යුතුකමකි.

          තම ඥාතියාට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමේ දැඩි උවමනාවක් වින්දිතයන්ට තිබේ. දශක ගණනාවක් තිස්සේ ඔවුන් නෙත් දල්වා බලා සිටින අපේක්ෂාව එයයි. එය  යුද්ධයෙනුත් දකුණේ භීෂණයෙනුත් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට පොදුය; ලසන්තලාගේ එක්නැලිගොඩලාගේ ඥාතීන්ටත් පොදුය.  අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් 2017 පෙබරවාරි මස 20දින ආරම්භ කරන ලද විරෝධතාවය අදටත් ඔවුන් අඛණ්ඩව රැගෙන යන්නේ එහෙයිනි. එහෙත් එම බලාපොරොත්තුව ඉටු කර ගත නොහැකිවම මියගිය දෙමාපියන් සිටීම අතිශය සංවේගදායක  කරුණකි.

          නව ජනපතිවරයෙකු පත්වී තිබේ. හෙට අනිද්දාම නව රජයක් ද පත්වනු ඇත. 2024 ඔක්තෝබර් 27  දිනද සීදුව  ප්‍රදේශයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවයක නියැලෙති.  ඒ ජනතාවගේ ආණ්ඩුවෙන් හෝ  ජනතාවට සාධාරණය ඉටු  කරගන්නා අපේක්ෂාවෙනි.  ලොව වැඩිම බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයන් සිටින රටවල් අතර ප්‍රමුඛස්ථානයක සිටින රටක  ඔවුහු  තම අතුරුදහන් කරවූ ඥාතියා වෙනුවෙන් සාධාරණය ඉල්ලා දශකයක්  තිස්සේ  අපේක්ෂා සහගතව බලා හිඳිති.

සටහන – බුද්ධික වීරසිංහ


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *