ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කරන 2026 ඉයුලිම් (Eoullim) කොරියානු සංස්කෘතික උළෙල පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ (31) කොළඹදී පැවැත්වුණා.
ලබන අගෝස්තු 29 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී මෙම උළෙල පැවැත්වීමට නියමිත අතර, එය දකුණු කොරියාවේ Far East University සහ ශ්‍රී ලංකාවේ IDM Nations Campus International (IDMNC) ආයතනය එක්ව සංවිධානය කරනවා.
මෙම උළෙල සඳහා කොරියානු සංස්කෘතික හුවමාරු පදනම (KOFICE) සහ දකුණු කොරියාවේ සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහය හිමිව තිබෙනවා.
උළෙල කොටස් තුනකින් සමන්විත වන අතර, උදෑසන කොරියානු සංස්කෘතිය සහ එහි ගෝලීය බලපෑම පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිතයි.
දහවල් කාලයේදී කොරියානු ආහාර, රූපලාවණ්‍ය, තේක්වොන්ඩෝ සහ K-pop අත්දැකීම් ලබාදෙන වැඩසටහන් පැවැත්වෙන අතර, සන්ධ්‍යාවේදී කොරියානු සම්ප්‍රදායික නර්තන හා සංගීත ප්‍රසංග, තේක්වොන්ඩෝ සංදර්ශන සහ K-pop නර්තන ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන හරහා ශ්‍රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ අධ්‍යාපනික අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, දෙරට අතර සංස්කෘතික සහ අධ්‍යාපනික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කරන බව සංවිධායකයින් සඳහන් කළා.
මෙම මාධ්‍ය හමුව සඳහා IDM Nations Campus International ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය වී. ජනගන්, සභාපති ආචාර්ය ලයනල් පින්ටෝ, මහාචාර්ය ප්‍රසාත් හේරත්, මේජර් ජනරාල් සජිත් ලියනගේ ඇතුළු නියෝජිතයින් සහ දකුණු කොරියාවේ Far East University හි මහාචාර්යවරුන් පිරිසක් ද එක්ව සිටියා.






Leave a Reply