හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථය සම්බන්ධයෙන් ගොනු කළ විශේෂ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිෂ්ප්‍රභ කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට කොළඹ වාණිජ මහාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව විමල් වීරවංශ මහතා මෙම අභියාචනය ගොනු කර තිබුණා.
ඒ අනුව, ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස වාණිජ මහාධිකරණය නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් මැදිහත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා.
කෙසේ වෙතත්, අදාළ ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම ප්‍රකාශයට පත් කිරීම, විකිණීම සහ බෙදාහැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ තහනම් නියෝගය සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
ඒ අනුව, ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛන ඇතුළත් කොටස්වලට පමණක් එම තහනම සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරු එම තීන්දුවට එකඟත්වය පළ කළා.
ටිල්වින් සිල්වා මහතා වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවෙන් චෝදනා කර තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණට අයත් ලේඛන කිහිපයක් අවසරයකින් තොරව ග්රන්ථයට ඇතුළත් කිරීම හරහා තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවයි.
එම නඩුව විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණය, ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වී ඇති බව තීරණය කරමින්, විමල් වීරවංශ මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබුණා.







Leave a Reply