Loading...

මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ගැන අවසන් තීරණය ජනපති අතට

තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කර ඇති ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පසුගියදා පැවැත්වුණු ඉහළ පෙළේ සාකච්ඡාවකදී කථානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ තමාට ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට නොහැකි බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය 09 වනදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති නමුත් විවිධ පරස්පර මත හේතුවෙන් පැහැදිලි තීරණයක් ගැනීමට නොහැකි වී ඇති බවයි.

මහජනතාව ආර්ථික වශයෙන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක වාහන බලපත්‍ර ලබාදීම සුදුසු නොවන බවයි එම කාරක සභාවට සහභාගී වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ.

මේ අවස්ථාවේදී වාහන බලපත්‍රය ලබාදීමට සමඟි ජන බලවේගය විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර ඇති අතර නිලධාරීන් ඒ මහතාගේ එම විරෝධය සටහන් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 116 දෙනෙක් පසුගියදා කථානායකවරයාට ලියවිල්ලක් භාර දෙනු ලැබුවා.

අදාළ ලියවිල්ල කථානායකවරයා පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඒ සම්බන්ධව සාකච්ඡාවට ගැනුණු නමුත් පැහැදිලි තීරණයක් ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *