ISIS ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා ලබා ඉන්දියාවේ දී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා මෙහෙයවූ ප්‍රධානියා ලෙස සැලකෙන ඔස්මන් ජෙරාඩ් නැමැත්තා පසුගිය 31 වනදා රාත්‍රීයේ කොළඹ දී අත්අඩංගුවට ගෙන තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා ලබා ඉන්දියාවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ ඔවුන්ට සහාය දැක්වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පසුගිය සෙනසුරාදා මහජන සහාය ඉල්ලා තිබුණා.
එහිදී පොලීසිය සඳහන් කළේ ඔහු 46 හැවිරිදි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මේ අතරතුර සැකකරු කොළඹ ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව පසුගිය 31 වනදා ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.
පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ සැකකරු මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.
Leave a Reply