සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලීඩ්ස්හිදී පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 100කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් සමඟින් වේගවත් ලකුණු 121ක් රැස්කළා.
එය ඔහුගේ එක්දින දිවියේ 7 වන ශතකය වන අතර එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු එක්දින ශතකය ද වනවා.ඔහුට අගනා සහයක් ලබාදුන් කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කළ අතර, පවන් රත්නායක ලකුණු 48ක් ද, ජනිත් ලියනගේ ලකුණු 32ක් ද රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිතිකරුවන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 305ක් පමණයි.
එංගලන්තය වෙනුවෙන් ජොස් බට්ලර් ලකුණු 69ක් ද, ටොම් බැන්ටන් ලකුණු 73ක් ද, බෙන් ඩකට් ලකුණු 67ක් ද රැස්කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 49කට කඩුලු 3ක් ද, දිල්ෂාන් මධුශංක සහ ඒෂාන් මාලිංග කඩුලු 2 බැගින් ද දවාගැනීමට සමත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක අවසන් එක්දින තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.







Leave a Reply