2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබෙනවා.
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී අද (01) මෙරට වේලාවෙන් අලුයම පැවති අවසන් තරගයේදී රුමේෂ් සිය දෙවැනි උත්සාහයේදී මීටර් 89.75ක දුරක් හෙල්ලය විසි කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කළා.
මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනාගත් 6 වැනි රන් පදක්කම වන අතර, 2006 වසරේ බර ඉසිලීමේ ඉසව්වෙන් චින්තන විදානගේ දිනාගත් රන් පදක්කමෙන් අනතුරුව වසර 20කට පසු ශ්‍රී ලංකාවට හිමි වූ පළමු රන් පදක්කම ද වනවා.
එමෙන්ම, 1950 වසරේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඩන්කන් වයිට් පිරිමි යාර 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමෙන් වසර 76කට පසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මලල ක්‍රීඩා ඉසව්වකින් දිනාගත් පළමු රන් පදක්කම ලෙසද මෙය ඉතිහාසයට එක්වනවා.
තරගයේදී රුමේෂ්ගේ ප්‍රධානතම අභියෝගකරුවා ලෙස සැලකුණු 2021 ඔලිම්පික් රන් පදක්කම්ලාභී ඉන්දියාවේ නිරාජ් චෝප්රා මීටර් 85.83ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත් අතර, මීටර් 85.41ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ යෂ් වීර් සිංට ලෝකඩ පදක්කම හිමි වුණා.
රුමේෂ්ගේ මෙම රන් පදක්කමත් සමඟ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව දෙක දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊට පෙර පසුගිය බ්‍රහස්පතින්දා පැවති පැරා කවපෙත්ත විසිකිරීම (F42-44/F61-64) ඉසව්වේදී පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට සමත් වුණා.








Leave a Reply