Loading...

මාධ්‍ය ආයතන 3ක ධවල මන්දිර ප්‍රවේශ තහනම වහාම ඉවත් කිරීමට නියෝග

පසුගිය සතියේ ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කරන ලද ප්‍රමුඛ පෙළේ විදෙස් මාධ්‍ය ආයතන තුන සඳහා වහාම යළි ප්‍රවේශය ලබාදෙන ලෙස අමෙරිකානු අධිකරණයක් නියෝග කර තිබෙනවා.

කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණය මගින් නිකුත් කරන ලද තාවකාලික නියෝගයකට අනුව, CNN, MS NOW සහ Politico යන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට අවම වශයෙන් ඉදිරි දින 14ක කාලයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි යළි ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රවේශය ලබාදිය යුතු වනවා.

තමන්ගේ මාධ්‍ය අවසරපත්‍ර අත්හිටුවීමට සහ ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණයට එරෙහිව අදාළ මාධ්‍ය ආයතන විසින් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක් සලකා බලමින් අධිකරණය මෙම තීන්දුව ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ මාධ්‍ය ආයතන මගින් අසත්‍ය තොරතුරු පළකරන බවත්, ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවත් පවසමින් ට්‍රම්ප් පරිපාලනය මෙම තහනම සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ ද අධිකරණය එම තර්කයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි නීතිමය ක්‍රියාපටිපාටියෙන් තොරව මෙම මාධ්‍ය තහනම පනවා ඇති බව පෙන්වා දෙන අධිකරණය, මාධ්‍ය නිදහස සුරැකෙන පරිදි අදාළ තහනම වහාම අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *