Loading...

,

මහින්ද මහත්තයා කිව්වා මේක කරන්න පුළුවන් මට විතරයි කියලා – ජනාධිපති

සමඟි ජන බලවේගය අද වන විට සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) කුලියාපිටියේ පැවැති සැබෑව ජන රැලියට එක්වෙමින්.

රට ණය බරින් බේරාගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමඟි ජන බලවේගය සමඟ එක්වූ සියළු දෙනාට ජනාධිපතිවරයා මෙහිදී ආරාධනා කළා.

“රට ගොඩනැගීමේ සැලැස්මක් තිබුණේ එක්සත් ජාතික පක්ෂයට පමණයි යන්න ඉදිරියට යාමට එක්සත් ජාතික පක්ෂයට හැකිවීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වනවා. එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් කිසිදු පක්ෂයකට රට ගොඩනැගීමේ සැලැස්මක් තිබුණේ නැහැ.

තවමත් අපට යම් අසීරුතා තිබෙනවා. අපි සියලුදෙනා එකතුවී පටු දේශපාලන බේදයකින් තොරව ඉදිරියට යමු කියා ප්‍රකාශ කිරීමටයි මම මෙතනට පැමිණියේ.
මම ආණ්ඩුව භාරගත් අවස්ථාවේ රට මේ තත්ත්වයට ගෙන ඒමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළේ නැහැ.

අද අපි බංකොලොත්භාවයෙන් නිදහස්වීමට නියමිතව තිබෙනවා. බොහෝ අය සිතුවා මේ සඳහා වසර පහක්වත් ගතවනු ඇතියි කියලා. දැන් ජාතය්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරටට පැමිණ සිටිනවා.

අප ඔවුන් සමඟ සහ නිල වශයෙන් ණය ලබාගත් රටවල් සමඟ සාකච්ඡා කර එහි පළමු ගිවිසුමට මැයි හෝ ජූනි මාසයේ දී අත්සන් තැබීමට බලාපොරොත්තු වෙනවා.

ඉන් පසුව බංකොලොත් නැති රටක් ලෙස අපට සහන ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

අපි අල්ලස් දූෂණ සඳහා කොමිසමක් ඇති කළා. මම කිසි අවස්ථාවක එම කිසිවකට අතගැසුවේ නැහැ.

වැරදිකාරයන්ට නඩු දාන්න. ඒක මට ගැටලුවක් නොවෙයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි බෙදුනා. නමුත් මම ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ලෙස අප සත්‍ය ප්‍රකාශ කර ඉදිරියට යමුයි කියලා.

අපි සැලසුම්සහගතව කටයුතු කළොත් අපට ටික කාලයකින් ආණ්ඩුවක් ගොඩනගාගත හැකි බව මම එදා පෙන්වා දුන්නා. නමුත් බොහෝ අය ඊට විරුද්ධ වුණා.

ඇතැම් අය සිතුවේ ඡන්දයක් දිනන්න නම් බොරු පොරොන්දු දෙන්න ඕන කියලා.

මේ මතය තුළ එක්සත් ජාතික පක්ෂය බෙදුනා. ඇතැම් අය සමගි ජන බලවේගයට ඡන්දය දුන්නා.

ඇතැම් අය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ඇතැම් අය අපි වෙනුවෙන් ඡන්දය ලබා දුන්නා. මම ඒ සියලුදෙනාටම කියනවා අද තිබෙන්නේ එක පක්ෂයයි.

ඒ එක්සත් ජාතික පක්ෂය යි. අපි ඉදිරිපත් වෙන්නේ ඩී.එස්. සේනානායක මහතා නිදහස ලබා දුන් මේ රට ආරක්ෂා කර ගැනිමට වගේම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඇති කළ ඒ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහායි කියලා.

ලබන වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3000ක් අවම වශයෙන් අවශ්‍ය වේ. මෙලෙස ඇත්ත කථාකර ඉදිරියට යාම ගැන මම ආඩම්බර වෙනවා.
සමගි ජන බලවේගය කිව්වේ සියලු දේ දෙනවා කියලා.

ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ ආර්ථිකය ගැන කථා කළා.

රට ගොඩගැනීමට එක්සත් ජාතික පක්ෂය හැර වෙන කිසිවෙකුට සැලැස්මක් තිබුණේ නැහැ.

මේ රටේ ආර්ථිකය කඩා වැටෙද්දි මම හිතුවා ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න බැහැ කියලා. ඒ නිසා මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට කතා කළා.

එතුමිය කිව්වා අපිට උදව් කරන්න කැමතියි කියලා. ලෝක බැංකුවෙනුත් එයම ප්‍රකාශ කළා. මමත් ගිහින් ජනාධිපතිවරයාව දෙවරක් මුණ ගැසුණා. මේ කරුණු ප්‍රකාශ කළා. නමුත් අවාසනාවකට ඇතැම් නිලධාරීන් ඊට විරුද්ධ වුණා.

මැයි 09 සිදුවීම නිසා කුමක්ද සිදු වුණේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉල්ලා අස්වුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති ධුරය භාරගන්න බැහැ කිව්වා. අනුර දිසානායක මහත්තයා ඒක ඉල්ලුවෙත් නැහැ. මම ඔවුන් කිසිවෙකුටවත් දොස් කියන්නේ නැහැ. ඒ හේතුව ඔබ දන්නවා. ජනතා විරෝධයක් මැද කොහොමද ඔවුන් අගමැති ධුරය භාරගන්නේ. ඔවුන්ට ගාලු මුවදොර පිටියට යන්නවත් බැරි වුණා. ඒකයි සත්‍ය.

එදා මම හිටියේ ෂැංග්‍රිල්ලා හෝටලයේ පැවති රංජිත් සියඹලාපිටිය මහත්මයාගේ දුවගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගිවෙමින්. එළියේ සිටි සියලුදෙනා දැන ගෙන හිටියා මම හෝටලයේ ඇතුලේ ඉන්නවා කියලා. කවුරුවත් ඇවිල්ලා මට යන්න කිව්වේ නැහැ. පසුව මම පිටත් වෙලා ගියා. එවිට නගර සභාව අසළ සිටි අය මෙන්ම කොම්පඤ්ඤ වීදිය පැත්තේ හිටපු අය එක්ක කථා කරලා මම ගියා. මොකද අපි සෑමවිටම සත්‍ය ප්‍රකාශ කළා. දුක් වින්දා. මිනිස්සු මුලා කළේ නැහැ. පරාජය භාර ගැනීමට සූදානම් වුණා.

පසුව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු මට කථා කළා. ජනාධිපතිවරයා මට කතා කළා. මම අගමැති ධුරය භාරගත්තා. වෙන කවුරුත්වත් හිටියේ නැහැ මේක භාරගන්න. පොහොට්ටුවට භාරගන්න බැහැ. සජිත්, අනුර මේක භාර ගත්තේ නැහැ.

ඒ වගේම සම්බන්ධන් මහත්මයා අසනීපයෙන් හිටියේ එතුමාට භාරගන්නත් බැහැ. ඒ නිසා මම අගමැති ධුරය භාරගෙන හිටපු ජනාධිපතිවරයාට කිව්වා පුළුවන්නම් විපක්ෂය එකතු කරගන්න කියලා. නමුත් ඔවුන් කැමති වුණේ නැහැ.

මම මුදල් අමාත්‍යවරයා විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කථා කළා. එම අධාර උපකාර ලබාගත්තා. මේ අතර තමයි ජූලි 09 වනදා සිදුවීම ඇති වුණේ. මම දන්නේ නැහැ ඒ විරෝධය හිටපු ජනාධිපතිවරයාව පළවා හැරීමට ගෙන ආවද, මාව පළවා හැරීමට ගෙන ආවද කියලා. කෙසේ හෝ එදා ජනාධිපති නිවස වැටලු අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ධුරය හැර ගියා. මගේ නිවස ගිනි තැබුවා. නමුත් මම හිටියා. මොකද අපි එක්සත් ජාතික පාක්ෂිකයින්. හිටපු ජනාධිපතිවරයා භාරදුන් වගකීම මම භාරගත්තා.

මම වැඩබලන ජනාධිපති ලෙස රජයේ ගොඩනැගිල්ලක දිවුරුම් දෙනවට රජයේ නිලධාරින් බිය වුණා. නමුත් වාලුකාරමයේ දී මම වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා.

මම මැතිවරණයකට යාමට සිතුවා. මම සිතුවා එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා මට සහයෝගය ලබාදෙයි කියලා. ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. ඔවුන් එකතු වුණේ නැහැ. ඔවුන් අපිත් ඒකක ආවනම් අද එම කිහිපදෙනෙකුම ඇමතිකම්වල කටයුතු කරනවා. නැවත පැමිණ මනුෂ සහ හරින් මම පිළිගන්නවා.
තවත් සමහර අය කිව්වා ඩලස් අලහප්පෙරුමට සහයෝගය ලබා දෙනවා කියලා.

ජී.එල්. පීරිස් මට විරුද්ධ වුණේ එක්සත් ජාතික පාක්ෂිකයෙකුට ජනාධිපතිකම දෙන්න බැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයට දෙන්න බැහැ පොහොට්ටුවට දෙන්න කිව්වහම සජිත් ප්‍රේමදාසයි, සජබෙයි එයට එකතු වෙනවා. ඒකට ඔහු එකඟ වුණා. ඒ වගේම ඩලස් අලහප්පෙරුමගේ දෙවැනියා වෙන්න සූදානම් වුණා.
මම මේ ආර්ථික අර්බුදයෙන් රට බේරගන්න සියලුදෙනාගෙන් සහය ඉල්ලුවා. මහින්ද රාජපක්ෂ මහතාට කතා කළ විට ඔහු කිව්වා රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කතා කරන්න පුළුවන් ඔයාට විතරයි ඔයා ඒක භාරගෙන කරන්න කියලා.

අද මහින්ද රාජපක්ෂ හොද නැහැ කියන අය එදා මල් වට්ටි අරගෙන ගිහින් සහාය ඉල්ලුවේ. මම නිකන් දුරකථනයෙන් එතුමාට කතා කළේ. මහින්ද රාජපක්ෂ හොදයි ඡන්දය දෙනවනම්. ඒ නිසා ඔය බොරුව කරන්න එපා කියලා මම සමගි ජන බලවේගයට කියනවා. ඉන්පසුව මහින්ද රාජපක්ෂ හොඳ නැහැ අපි එන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ සට්ටන්බිරාළව ජී.එල්. පීරිස්ව ගත්තා. ඒ සට්ටන්බිරාළ කියන්නේ නැහැ මහින්ද හොද නැහැ කියලා. සට්ටන්බිරාළ හොදයි. මහින්ද හොද නැහැ.

අද සමගි ජන බලවේගය තුළ ඉන්නේ සට්ටන්බිරාළයි, ගොඩ පෙරකදෝරුවයි. එක්සත් ජාතික පාක්ෂිකයන්ට එහි තැනක් නැහැ”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *