Loading...

ක්ලබ් වසන්තගේ ඝාතනය ගැන තවත් තොරතුරු එළියට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාව ඝාතනය පසුව වෙඩිකකරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ වෑන් රථයේ රියදුරු හා බස් රථයේ රියදුරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් දෙදෙනා අද (24) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

පසුගිය 8 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ක්ලබ් වසන්ත හා තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කෙරුණා.

මෙහිදී ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා මහත්මිය ඇතුළු සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදුවුණා.

මේ අතර එම සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් තවත් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් එක් සැකකරුවෙක් වෙඩික්කරුවන් සහ ඔවුන් පැමිණි මෝටර් රථයේ රියදුරුවරයාට පළා යාම සඳහා සහාය වූ පුද්ගලයෙක් බවයි සඳහන් වුණේ.

වෙඩික්කරුවන් දෙදෙනා සහ ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරුවරයා කොරතොට ප්‍රදේශයෙන් වෑන් රථයකට නංවාගෙන වැලිහිඳ ප්‍රදේශයේ දක්වා ගොස් එහිදී බස් රථයකට නංවා ඇත්තේ ඔහු විසින් බවද පොලීසිය ප්‍රකාශ කළා.

අනතුරුව ඔහු විසින් අදාළ වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා.

ඊට අමතරව වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ එම සැකකරුවන් බස් රථයෙන් දික්වැල්ල ප්‍රදේශයේ දක්වා රැගෙන ගොස් බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයේ සඟවා තබන ලද රියදුරා ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

36 හැවිරිදි ඔහු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෙම ඝාතනය මෙහෙය වූ ලොකු පැටී නැමැති පුද්ගලයාගේ ඥාතියෙක් බවද වාර්තා වනවා.

ලොකු පැටී නැමැති සැකකරු සමඟ අදාළ කාල සීමාව තුළදී වට්ස්ඇප් මඟින් සම්බන්ධ වී ඇති බව සඳහන්.

ඔහුට ඒ සඳහා ලොකු පැටී විසින් රුපියල් 120000ක මුදලක් ලබාදී ඇති බවද අනාවරණය වී තිබෙනවා.

තවද 26 හැවිරිදි වෑන් රථයේ රියදුරු මීගමුව ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්දෙක් වන අතර ලොකු පැටී විසින් ඔහුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවද පොලීසිය කියා සිටියා.

මේ අතර ලොකු පැටී නම් අපරාධකරු විසින් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වියදම් කර ඇති අතර එවැනි මුදලක් වියදම් කර මෙම ඝාතනය සිදුකිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් පොලීසියට අනාවරණ වී නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *