Loading...

,

ඇමති කුමාර ජයකොඩිට කොළඹ මහාධිකරණය අධි චෝදනා – ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව අමාත්‍යවරයා අද (27) අධිකරණය හමුවේ පෙනී සිටියා.

විනිසුරුවරයා මෙහිදී නියෝග කළේ චෝදනා භාරදීමෙන් පසුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

ඒ අනුව විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද විනිසුරුවරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

ඉන්පසුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි මස 6 වනදා කරන ලෙසද අධිකරණය නියම කර ඇති බව සඳහන්.

2015 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී පෞද්ගලික සමාගමක් වෙත නීතිවිරෝධී ලෙස ලාභයක් හෝ වාසියක් සිදු කිරීමෙන් අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.

අදාළ කාලයේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස ඔහු සේවය කර ඇති අතර එහිදී ලංකා පොහොර සමාගමේ හුණුපිටිය සංකීරණයේ භූමිය වෙත කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක පැවැති දෝෂ සහගත තත්ත්වයක් මෙම චෝදනාවට හේතු වී තිබෙනවා.

මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව එම කොමිෂන් සභාව සිදුකළ මුලික විමර්ශනයක් අවසානයේ සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *