Loading...

නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් මත්පැන් මිල ගණන් යළි ඉහළට

මත්පැන් බෝතල් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව සියලුම මත්පැන් වර්ගවල මිල ගණන් නොවැම්බර් 01 වැනිදා සිට ඉහළ නැංවීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා.

හිස් බෝතල් නිෂ්පාදනය කරන සමාගම විසින් සිය පිරිවැය ඉහළ ගොස් ඇති බව පවසමින් මිලිලීටර් 750 හිස් බෝතලයක් සඳහා රුපියල් 160ක්ද, මිලිලීටර් 375 භාග බෝතලයක් සඳහා රුපියල් 140ක්ද, මිලිලීටර් 180 කාල බෝතලයක් සඳහා රුපියල් 109ක්ද වශයෙන් අය කරන ගාස්තු ඉහළ දමා ඇති බව මත්පැන් නිෂ්පාදන සමාගම් පෙන්වා දෙනවා.

ඒ අනුව, මෙරට වැඩිම අලෙවියක් සහිත ‘ගල්’ (එතනෝල්/අරක්කු) බෝතලයක් සඳහා වයින් ස්ටෝර්ස් මඟින් මෙතෙක් අය කළ රුපියල් 60ක තැන්පතු මුදල රුපියල් 100 දක්වාත්, භාග බෝතලයක් සඳහා අය කළ තැන්පතු මුදල රුපියල් 40 සිට රුපියල් 70 දක්වාද, කාල බෝතලයකට අය කළ රුපියල් 20ක තැන්පතු මුදල රුපියල් 30 දක්වාද වැඩි කර ඇත.

හිස් බෝතල් ආපසු භාර නොගන්නා සමාගම්, මත්පැන් මිලටම බෝතල් මිලදී ගැනීමට වැය වන අමතර මුදල එකතු කර මිල ගණන් ඉහළ දමා පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මිලිලීටර් 750 ගල් බෝතලයක නව මිල රුපියල් 100ක තැන්පතු මුදල ද ඇතුළුව රුපියල් 3,800 දක්වා ඉහළ ගොස් ඇත. එම මුදලින් රුපියල් 360ක් මත්පැන් අලෙවිසලට හිමිවන අතර, රුපියල් 611ක මුදලක් එකතු කළ අගය මත බදු (VAT) ලෙස රජයට අය වන බව සමාගම් සඳහන් කරනවා.

සුරා බද්ද ඉහළ නොදැමුව ද, හිස් බෝතල් මිලදී ගැනීමට යන මුදල ඉහළ යාම හේතුවෙන් එම පිරිවැය පාරිභෝගිකයා මත පැටවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව නිෂ්පාදකයෝ පවසනවා.

මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව තැන්පතු මුදල් ඉහළ දැමූ අදාළ මිල ලැයිස්තුව මත්පැන් සමාගම් විසින් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි.

2022 ආර්ථික අර්බුදයෙන් පසුව මෙරට මත්පැන් මිල ගණන් සියයට 100කින් පමණ ඉහළ ගිය අතර, 2024 වසරේදී සුරා බදු ඉහළ නැංවීමත් සමඟ රුපියල් 50-60ත් අතර ප්‍රමාණයකින් ද, 2025 ජනවාරි මාසයේදී ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රුපියල් 20කින් ද මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *