Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට විශාල සංශෝධන – ඡන්ද අයිතියත් අධ්‍යක්ෂ මණ්ඩලයත් වෙනස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කර ඇති නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුණි මහතා සඳහන් කළේ, වත්මන් ඡන්ද ක්‍රමවේදයට සැලකිය යුතු වෙනසක් සිදු කිරීමට යෝජනා කර ඇති බවයි.

ඒ අනුව, ඡන්ද හිමිකම් සහිත සාමාජික සංඛ්‍යාව 39 දක්වා සීමා කිරීමට යෝජනා කර තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ සක්‍රීයව නිරත නොවන සංගම්වලට දැනට පවතින ආකාරයට ඡන්ද හිමිකම් ලබාදීම වෙනුවට, ඔවුන්ගේ සැබෑ ක්‍රිකට් ක්‍රියාකාරීත්වය මත ඡන්ද අයිතිය තීරණය කරන නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටද යෝජනා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

Tier 1 තරගාවලි සඳහා සහභාගි වන සංගම්වලට ඡන්ද දෙකක් හිමිවන අතර, එම හිමිකම් ලබාදීමේදී තරග සහභාගිත්වය, ක්‍රීඩක සංවර්ධනය සහ ක්‍රිකට් ක්‍රියාකාරකම් සැලකිල්ලට ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

වසර ගණනාවක් ක්‍රිකට් ක්‍රීඩාවේ සක්‍රීය නොවන සංගම්වලට ඡන්ද දෙක බැගින් හිමිවන ක්‍රමය ඉවත් කිරීමටද මෙම නව ව්‍යවස්ථාවෙන් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම නව ව්‍යවස්ථාවේ ප්‍රධාන අරමුණක් බවද සිදත් වෙත්තමුණි මහතා සඳහන් කළා.

ඒ අනුව, දැනට සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය 14 දෙනෙකු දක්වා අඩු කිරීමටද යෝජනා කර තිබෙනවා.

මේ අතර, නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් ස්ථාවර සහ දේශපාලන බලපෑම්වලින් තොර පරිපාලන පද්ධතියක් යටතේ ඉදිරියට ගෙන යා හැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ආයතනයේ දෛනික පරිපාලන කටයුතු ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ පරිපාලන කණ්ඩායම වෙත පැවරීමට යෝජනා කර ඇති බවයි.

ඒ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම දක්වා සීමා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

එම වෙනස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වඩාත් කාර්යක්ෂම, වගකීමෙන් යුතු සහ විනිවිදභාවයෙන් යුත් පද්ධතියක් බවට පත් කිරීම සඳහා වැදගත් පියවරක් වන බවද ඔහු අවධාරණය කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *