Loading...

,

Interstellar තිරගත වෙලා අවුරුදු 10 ක්

ලෝක සිනමාවේ මෙතෙක් බිහිවූ සුපිරිම සයි-ෆයි ෆිල්ම් එකක් වෙන Interstellar තිරගත වෙලා අවුරුදු 10 ක් ගත වෙන වෙලාවේ ඒක වෙනුවෙන් මේ සටහන….

මේක නම් කියවන්නම ඕනේ.

කීයක් දැනන් හිටියද, කීයක් අද දැනගත්තද කියලත් කියන්න.

———————————–

“Interstellar ෆිල්ම් එක ගැන අමුතු කතා”

Interstellar කියන්නේ 2014 දී තිරගත වීම ආරම්භ කල ලෝක සිනමාවේ මෙතෙක් නිපදවූ සුපිරිම Science Fiction ෆිල්ම් එකක්.

SPOILER ALERT: ඔයාලා ගොඩක් අය මේ ෆිල්ම් එක බලලා ඇති. බලලා නැත්තන් අනිවාර්යෙන්ම බලලා එන්න, මොකද මේ ලිපිය අස්සේ ෆිල්ම් එකේ spoilers ගොඩක් තියෙන්න පුළුවන්.

මගේ මේ ලිපිය සාමාන්‍ය movie review එකක් නම් නෙමෙයි.

මේ ෆිල්ම් එකේ ඔයාලා දැකලා තියෙන, හැබැයි ඒ දේවල් වල නොදන්න තිරයේ පිටුපස කතා ගොඩක් තමයි මම අද ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ.

ඒ කතා දැනගෙන ආයේ film එක බලන්න, ඒක අමුතුම experience එකක් වෙයි ඔයාල හැමෝටම.

——————————————–

🪐සම්මානනීය අධ්‍යක්ෂක Christopher Nolan අධ්‍යක්ෂණය කල, නිෂ්පාදනය කල සහ තිර රචනා කල Interstellar ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වල‍ට පණ පොවන්නේ Matthew McConaughey, Anne Hathaway, Jessica Chastain, Bill Irwin, Ellen Burstyn, Matt Damon, Michael Caine ඇතුළු සුපිරි නළු නිලියන් පිරිසක්.

🪐අනාගත ඩිස්ටෝපියානු (Dystopian) සමාජය තුල ජීවත්වීමේ අරගලයක යෙදී සිටින මිනිසුන් වටා ගෙතුණු Interstellar ෆිල්ම් එකේ ප්‍රධාන කතාව ගලා යන්නේ සෙනසුරු ග්‍රහයා අසල තියෙන වර්ම්හෝල් (wormhole) එකක් භාවිත කරලා කාලතරණය කරමින් ජීවත්වීමට සුදුසු අලුත් ග්‍රහලෝකයක් සොයන්න මහන්සි වෙන අභ්‍යවකාගාමීන් පිරිසක් වටායි.

🪐2007 දී Jonathan Nolan විසින් ලියන්න පටන් ගත්තු මේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක අන්තිමට ඉවර වෙන්නේ ඔහුගේ සහෝදරයා වෙන සුප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂක Christopher Nolan ගේත් සහයෙන්.

🪐Christopher Nolan මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්නේ ඔහුගේ බිරිඳ, Emma Thomas, එක්ක. ඒ එයාලගේ නිෂ්පාදන ආයතනය වෙන Syncopy හරහා, සම නිෂ්පාදනයෙන් Lynda Obst සමබන්ධ වෙන්නේ Lynda Obst Productions යටතේ.

🪐Caltech (California Institute of Technology) විශ්වවිද්‍යාලයේ න්‍යායාත්මක භෞතිකවිද්‍යාඥයෙක් වන නොබෙල් සම්මානලාභී Kip Thorne තමයි මේ Interstellar ෆිල්ම් එකේ විධායක නිෂ්පාදක (executive producer), ඒ විතරක් නෙමෙයි ඔහු මේ ෆිල්ම් එකේ චරිතෙකටත් පණ පොවනවා.

🪐Paramount Pictures, Warner Bros. සහ Legendary Pictures තමයි මේ ෆිල්ම් එකේ ෆයිනෑන්ස් පැත්ත හැන්ඩ්ල් කලේ.

🪐ෆිල්ම් එකේ සිනමැටෝග්‍රැෆර් (Cinematographer), ඒ කියන්නේ කැමරා අධ්‍යක්ෂක වුනේ Hoyte van Hoytema.

🪐Interstellar ෆිල්ම් එකේ ප්‍රධාන ලොකේශන්ස් වුනේ කැනඩාවේ Alberta, ඇමරිකාවේ Los Angeles සහ අයර්ලන්තයයි.

🪐ෆිල්ම් එක ගැන කතා කරද්දී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කෙනෙක් තමයි ලෝක ප්‍රකට සංගීත අධ්‍යක්ෂක Hans Zimmer. අදටත් ලෝකේ බොහෝ දෙනෙක් කතා කරන Interstellar ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂක තමයි Hans Zimmer.

🪐ඇමරිකානු ඩොලර් මිලියන 165 ක වියදමක් දරා නිෂ්පාදනය කල මෙම චිත්‍රපටිය 2014 වැඩිම අදායමක් ලැබූ චිත්‍රපටි 10 ට ඇතුලත් වුනේ Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 677.5 ක් සමඟින්.

🪐මේ ෆිල්ම් එක පැය 2 විනාඩි 49ක් දිගයි. ඒ වන විට ලෝකයේ තිරගත වූ දීර්ඝතම IMAX ෆිල්ම් එක වුනෙත් මේ Interstellar ෆිල්ම් එක.

🪐2019 තිරගත වුන Avengers: Endgame ෆිල්ම් එක තමයි ඒ රෙකොර්ඩ් එක කැඩුවේ. ඒ ෆිල්ම් එක පැය 3 විනාඩි 1ක් දිගයි. අදටත් මේ ලිස්ට් එකේ 2 වැනි ස්ථානයේ තියෙන්නේ Interstellar ෆිල්ම් එක.

🪐2015 පැවති 87 වන Academy Awards එහෙම නැත්තන් Oscar සම්මාන උළෙලේ Best Visual Effects වලට හිමි සම්මානය දිනා ගත්තෙත් Interstellar විසින්. Best Original Score, Best Sound Mixing, Best Sound Editing සහ Best Production Design වලටත් මේ ෆිල්ම් එක මෙහිදී නිර්දේශ වුනා.

🪐ෆිල්ම් එක ශූට් කරන්නත් කලින්ම Kip Thorne විසින් Christopher Nolan ව කාරණාවකට පොරොන්දු කරගෙන තියෙනවා. ඒ තමයි ෆිල්ම් එකේ කිසිම දෙයක් පවතින විද්‍යාත්මක සිද්ධාන්ත වලට පිටින් නිර්මාණය වෙන්න බෑ කියන එක. ඒ නිසාම ස්ක්‍රිප්ට් එක විතරක් නෙමෙයි Visual Effects පවා නිර්මාණය වුණේ පවතින විද්‍යාත්මක සිද්ධාන්තවලට.

🪐2000දී තිරගත වූ Christopher Nolan ගේ Memento ෆිල්ම් එකෙන් පස්සේ මේ ෆිල්ම් එකේදී තමයි පළමු වතාවට ඔහු කැමරා අධ්‍යක්ෂක ලෙස Wally Pfister ව යොදා නොගත්තේ. ඒ Pfister ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වෙන Transcendence වලට කාර්යබහුල වෙලා හිටිය නිසා. පස්සේ තමයි Nolan විසින් Interstellar එකේ කැමරා අධ්‍යක්ෂක ලෙස Hoyte Van Hoytema යොදා ගත්තේ.

🪐ෆිල්ම් එකේ කැමරා අධ්‍යක්ෂක Hoyte Van Hoytema එයාට ඕන විදියට කැමරා එක කන්ට්‍රෝල් කරන්න ඕනේ නිසා අතේ තියන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් Handheld IMAX Camera එකක් වෙනම කස්ටමයිස් කරලා හදවගෙන තියෙනවා.

🪐ඔහු මේ ශූට් එක කලේ Anamorphic Format එක පාවිච්චි කරපු 35mm ෆිල්ම් එකක සහ IMAX 70mm ෆිල්ම් එකක.

🪐ෆිල්ම් එකේ තියන Wormhole එක සහ black hole එක නිර්මාණය කරන්න Visual Effects Supervisor වන Paul J. Franklin සහ ඔහුගේ ටීම් එක එක්ක ඉතා සක්‍රීයව Kip Thorne වැඩ කරා. ඔවුන් ඒකට Kip Thorne දුන්න න්‍යායාත්මක සමීකරණ භාවිත කරලා වෙනම CGI softwares සෙට් එකක්ම අලුතින්ම නිර්මාණය කරනවා. මේකේ ෆ්‍රේම් එකක් render කරන්න සමහර වෙලාවට පැය 100ක් විතර ගිය අවස්ථාත් තිබිල තියනවා.

Film එකේ වැඩ ඉවර වෙද්දී මේ CGI software එකේ… terabytes 800ක එහෙම නැත්තන් gigabytes 800,000ක දත්ත තිබිල තියනව.

🪐මේ ෆිල්ම් එක බේස් වෙලා තියෙන්නේ Kip Thorne ගේ අභ්‍යවකාශ තරණය පිලිබඳ සිද්ධාන්ත එක්ක. මේ සිද්ධාන්තම පාදක කරගෙන හදපු තවත් ෆිල්ම් එකක් තමයි 1997 ආපු Contact කියන්නේ. සුවිශේෂීම කාරණය තමයි ඒ ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිතයක් කරන්නෙත් Matthew McConaughey වීම.

🪐2006 දී මුලින්ම මේ ෆිල්ම් එකට අත ගහලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක Steven Spielberg. එයාම තමයි මේකේ ස්ක්‍රිප්ට් එක ලියන්න Jonathan Nolan ව හයර් කරන්නෙත්. වෙන ප්‍රොජෙක්ට්ස් වගයකට අත ගහපු Spielberg 2012දී මේ ෆිල්ම් එකෙන් අයින් වෙද්දී Jonathan Nolan තමයි වැඩේ කරන්න තමන්ගේ සහෝදරයා Christopher Nolan ට කතා කරන්නේ.

🪐1930 දී උතුරු ඇමරිකාවේ ගොවිපොලවල් විනාශ කරපු මහා නියඟය අලලා සැකසුනු The Dust Bowl (2012) documentary එක බලපු Christopher Nolan @ ඒකේ අධ්‍යක්ෂක වුන Ken Burns සහ නිෂ්පාදක Dayton Duncan ගෙන් ඉල්ලගන්නවා එකේ තියෙන ඇත්ත ඉන්ටර්වීව්ස් සෙට් එක. ඒ ටිකම තමයි අපිට interstellar එකෙත් දකින්න පුළුවන් වෙන්නේ.

🪐ice planet එකේ තිබ්බ රොබෝගේ නම තමයි KIPP, ඒ නම දැම්මේ මේ ෆිල්ම් එකේ සෑහෙන්න වැඩ කොටසක් කරපු Dr. Kip Thorne නිසාලු.

🪐ෆිල්ම් එකක් හදලා ඉවර වෙනකන් බොරු නමකින් ෂූට් කරන එක hollywood වල සාමාන්‍ය දෙයක්. ෆිල්ම් එක ප්‍රොමෝට් කරනකන් අනිත් මිනිස්සුන්ව මග ඇරගන්න තමයි එහෙම කරන්නේ. Interstellar ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නේ “Flora’s Letter” යන නමින්. Flora කියන්නේ Christopher Nolan ගේ දුවගේ නම.

🪐සුප්‍රසිද්ධ IMDb Top 250 දර්ශකයට ඇතුලත් වුන Christopher Nolan ගේ 7 වෙනි ෆිල්ම් එක තමයි මේ interstellar කියන්නේ.

🪐ෆිල්ම් එකේ තියෙන blackhole එකේ නම තමයි “Gargantua”. මේ නම අරගෙන තියෙන්නේ Francois Rabelais විසින් රචනා කරන ලද “Gargantua et Pantagruel” නවල් සීරීස් එකේ ඉන්න Gargantua කියන චරිතයෙන්. පොත්වල හැටියට Gargantua කියන්නේ සැටිස්ෆයි කරන්න මාර අමාරු, කොයි වෙලෙත් ලොකු බඩගින්නකින් ඉන්න චරිතයක්.

🪐 “Interstellar” කියන වචනේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ එකම එක තැනක විතරයි.

🪐2002 තිරගත වුන Insomnia ෆිල්ම් එකෙන් පස්සේ මේ ෆිල්ම් එකේ තමයි පලවෙනි වතාවට “F***” කියන වචනය Nolan ගේ ෆිල්ම් එකක භාවිත කලේ.

මේකෙත් එක පාරයි ඒ වචනය භාවිත කරලා තියෙන්නේ.

🪐ස්පේස් ගැන හදපු ෆිල්ම් එකක් වුනාට මේ ෆිල්ම් එකේ මුලින්ම spacecraft එකක් ලෝන්ච් වෙන්නේ ෆිල්ම් එක පටන් අරන් විනාඩි 43කට පස්සේ.

🪐Miller’s planet එකේ පැයක් කියන්නේ පෘථිවියේ අවුරුදු 7ක්. තව තේරුම් කරනවා නම් Miller’s planet එකේ තත්පරයක් කියන්නේ පෘථිවියේ පැය 17ක්.

🪐Miller’s planet එකේ ඉඳන් Cooper සහ Dr. Brand නැවත Endurance එනකොට අවුරුදු 23 මාස 4 දවස් 8 ක් ගිහින්. ඒ කියන්නේ Cooper සහ Dr. Brand, Miller’s planet එකේ ඉඳලා තියෙන්නේ පැය 3 විනාඩි 17ක් විතරයි.

🪐Miller’s planet එකේ සීන්ස් වලදී ඔයාලට ඇහෙනවා බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ඇතුලේ ටික් සවුන්ඩ් එකක්. එකේ ටික් දෙකක පරතරය හරියටම තත්පර 1.4ක්. ඒ කියන්නේ පෘථිවි දවසක්. කොච්චර පෘථිවි කාලයක් ඔවුන් එහේ ඉන්නවද කියන එක හරි අපූරුවට මියුසික් ට්‍රැක් එකකින් පෙන්නන්න Hans Zimmer සමත් වෙලා තියෙනවා.

🪐මේ Hans Zimmer සහ Christopher Nolan එකට වැඩ කරපු 5වෙනි අවස්ථාව.

🪐මේ ෆිල්ම් එක Sir Michael Caine සහ Christopher Nolan එකතු වෙන 6වෙනි ෆිල්ම් එක. මීට කලින් මේ දෙන්නා Batman Begins (2005), The Prestige (2006), The Dark Knight (2008), Inception (2010) සහ The Dark Knight Rises (2012) වල එකට වැඩ කරල තියෙනවා.

🪐මේ ෆිල්ම් එකේ ඔස්කාර් සම්මානලාභීන් නළු නිලියන් 6 දෙනෙක් ඉන්නවා. ඒ තමයි Matthew McConaughey, Anne Hathaway, Sir Michael Caine, Ellen Burstyn, Casey Affleck සහ Matt Damon.

ඒ වගේම තව ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වුන නළු නිලියන් 3 දෙනෙක් ඉන්නවා. ඒ තමයි Timothée Chalamet, Jessica Chastain සහ John Lithgow.

🪐Matt Damon මේ ෆිල්ම් එකේ කිසිම promotion එකකටවත්, කිසිම premiere එකකටවත් සහභාගී වෙලා නැහැ. ඒ වගේම ඔහුගේ නම මේ ෆිල්ම් එකේ නළු නිළියන්ගේ නම් අස්සේ තිබ්බෙත් නෑ .

මේ ෆිල්ම් එක රිලීස් වෙනකන්ම ඔහුගේ දායකත්වය රහසක් හැටියට තියාගන්න Christopher Nolan ට ඕන වුනා.

🪐Matthew McConaughey ගේ දුව Vida Alves McConaughey ෆිල්ම් එකේ මැද හරියක ඉන්නවා. පාරේ තියෙන ට්‍රක් එකක ඉන්න ළමයෙක්ගේ තත්පර ගාණක සීන් එකකට. Matthew McConaughey ගේ පුතෙක් වෙන Levi Alves McConaughey ෆිල්ම් එකේ අන්තිම හරියේ තත්පර ගාණක සීන් එකක ඉන්නවා. මහළු Murph අන්තිමට ඔලුව අත ගාන්නේ Levi ගේ තමා.

🪐Christopher Nolan ට සෑහෙන්න උවමනා වුණා සාමාන්‍ය ජනතාවට අවබෝධ වෙන විදියකට black hole එකේ හැඩය, ඒකේ ක්‍රියාකාරීත්වය film එක ඇතුලේ පෙන්නන්න.

ඒකට එයා පාවිච්චි කලේ ඒකාකාරී කැමරා මූව්මන්ට්ස්. කැමරා පොෂිශන් එක වැඩිපුර එහේ මෙහේ වුනොත් බලන කෙනාට අවුල් යයි කියන තර්කය තමයි Nolan ගෙනාවේ.

🪐සමහර උඩු ගුවනේ සීන්ස් ශූට් කරල තියෙන්නේ Learjet එකක nose cone එකේ හයි කරලා තිබ්බ IMAX camera එකකින්.

🪐TARS සහ CASE යන රොබෝ චරිත අදාල shots වලින් අති බහුතරයක් Bill Irwin විසින් කන්ට්‍රෝල් කරපු රියල් ප්‍රැක්ටිකල් පපට්ස්ලා. නැතුව කම්පියුටර් ජෙනරේටඩ් ඒවා නෙමෙයි.

🪐ෆිල්ම් එකේ එක සීන් එකක තියෙන විශාල දූවිලි වලාකුළු ඔක්කොම ඇත්තටම හදපු ඒවා. Cellulose වලින් හදපු කෘත්‍රිම දූවිලි විශාල ෆෑන්ස් වලින් බ්ලෝ කරලා තමයි වැඩේ කරලා තියෙන්නේ.

🪐ෆිල්ම් එකේ මුල තියෙන corn field සීන් එක වෙනුවෙන්ම Christopher Nolan අක්කර 500ක corn ඇත්තටම වවනවා.

ෂූටින්ග් ඉවර වුනාම ඒ corn ටික විකුනලා ලාභයකුත් හොයාගන්න Nolan ට පුළුවන් වුනා.

🪐The Ranger, Endurance සහ Lander යානා ඔක්කොම සහ tessaract එක full-size models සහ scale models. Nolan ට ඕනවුනේ කම්පියුටර් ජෙනරේටඩ් ඉෆෙක්ට්ස් නැතුවම වැඩේ රියල් ම විදියට කරන්න.

🪐මේ ෆිල්ම් එක “කාලය” කියන සංකල්පය වටා ගෙතුණු එකක්.

ෆිල්ම් එකේ තියෙන Endurance එකේ හැඩය “ඔරලෝසු මුහුණතක්”. ඒකත් Christopher Nolan ප්ලෑන් කරලා කරපු වැඩක්.

🪐ගඟනගාමියෙක්ගේ ගේ හැසිරීම නළු නිළියන්ට කියල දෙන්න පහසු වෙන්න Christopher Nolan රූගත කරන තැනට ගඟනගාමී Marsha Ivins ට ආරාධනා කරාලු.

🪐2019 අප්‍රේල් 10 දින තමයි ඉතිහාසයේ පළමු වතාවට black hole එකක රූපයක් එලිදැක්වුණේ. එය ගොඩක්ම Interstellar එකේ තියෙන black hole එකට සමානකමක් දැක්වුවා. තාරකා භෞතික විද්‍යාව කොච්චර මේ ෆිල්ම් එක හදන්න යොදා ගත්තද කියල එතැනින්ම හිතාගන්න පුළුවන්නේ.

සටහන – විකුම් හර්ෂණ


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *