තුන්වන වතාවටත් ICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියක ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (09) සමත් වුණා.
ඒ මෙවර ශූරයින්ගේ කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් නවසීලන්තය පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරමින්.
ඩුබායි හිදී පැවැති අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙනු ලැබුවා.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 251ක් රැස් කිරීමට සමත් වුණා.
නවසීලන්තය වෙනුවෙන් ඩැරල් මිචෙල් ලකුණු 63ක් ද මයිකල් බ්‍රේස්වෙල් නොදැවී ලකුණු 53ක් ද රචීන් රවීන්ද්‍ර ලකුණු 37ක් ලබා ගනු ලැබුවා.
පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී සහ කුල්දීප් යාදව් කඩුලු 2 බැඟින් බිඳ හෙලුවා.
ලකුණු 252ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
නායක රෝහිත් ෂර්මා ලකුණු 76ක් හා ෂුබ්මන් ගිල් ලකුණු 31ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩනැගු සම්බන්ධතාව ලකුණු 105කි.
විරාත් කෝලි එක් ලකුණකට දැවී ගිය අතර ෂ්රෙයස් අයියර් ලකුණූ 48 ක් හා අක්සාර් පටෙල් ලකුණු 29 ක් ලබා ගනු ලැබුවා.
හර්ඩික් පාන්ඩ්යා ලකුණු 18ක්ද ලෝකෙෂ් රාහුල් නොදැවී ලකුණු 34 ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.
පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් හා මයිකල් බ්‍රේස්වෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ඉන්දියාව ශූරයන්ගේ කුසලානයක් දිනාගත් 3 වන අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වුණා.
මේ අනුව ඔවුන් වැඩිම වාර ගණනක් ශූරයන්ගේ කුසලානය දිනාගත් කණ්ඩායම බවට පත් වූ අතර ඊට පෙර ඉන්දීයාව 2002 (ශ්‍රී ලංකාව සමග සම ශූරතාව) හා 2013 වර්ෂන්හිදී ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
තවද නවසීලන්ත ශූරයන්ගේ කුසලානයක අනුශූරතාවයක් දිනාගත් දෙවන අවස්ථාව මෙය වනවා.
මීට පෙර නවසීලන්තය 2009 වසරේ දී ද අනුශූරයන් වී තිබුණා.
එක් වරක් ශූරයන්ගේ කුසලානයටද හිමිකම් කියන ඔවුන්, 2000 වසරේදී ඉන්දියාව පරාජය කර එය හිමිකරගෙන තිබුණා.
වසර 8කට පසු පැවැත්වූ මෙම තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ICCය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් වෙන්කර තිබූ අතර එය මෙරට වටිනාකමින් රුපියල් කෝටි 65කට අධිකයි.
තවද අනුශූරයන් සඳහා ද ඩොලර් මිලියන 1.12ක මුදලක් වෙන්කර තිබුණා.
Leave a Reply