පසුගියදා අවසන් වූ ඉන්දියානු මහමැතිවරණයේ ප්‍රතිඵල භාරතීය ජනතා පක්ෂය බලාපොරොත්තු වූවක් වුණේ නැහැ. මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹද්දී ඔවුන් සඳහන් කළේ තමන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස ආසන 400 ක් දිනාගන්නට අපේක්ෂා කරන බවයි. නමුත් ප්‍රචාරක කටයුතු අතරමැද දී ඔවුන් හීන් සීරුවේ මේ 400 කතාව අමතක කර දමන බව පෙනෙන්නට තිබුණා. අවසානයෙදී ඔවුන් සන්ධානය ලෙස යන්තමින් බහුතරය ආරක්ෂා කරගන්නට සමත් වුණත් භාරතීය ජනතා පක්ෂය තනිව ලබාගත්තේ ආසන 240 ක් පමණයි.
භාරතීය ජනතා පක්ෂයේ පසුබෑමට හේතු වූ එක් කරුණක් වූයේ මැතිවරණ ආසන සංඛ්‍යාව අනුව විශාලම ප්‍රාන්ත තුනේදීම ඔවුන් දැක්වූ පසුබැසීමයි. එම ප්‍රාන්ත වන්නේ ලෝක් සභා ආසන 80 ක් සහිත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය, ලෝක් සභා ආසන 48 ක් සහිත මහාරාශ්ට්‍රය සහ ලෝක් සභා ආසන 42 ක් සහිත බටහිර බෙංගාලය යි. උත්තර් ප්‍රදේශ් හි ආසන 33 ක් දිනාගත් භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලයේදී ආසන 12 ක් දිනාගත් අතර මහාරාශ්ට්‍රයේදී දිනාගත්තේ ආසන 9 ක් පමණයි. පසුගිය මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය උත්තර් ප්‍රදේශ් හි ආසන 62 ක්, මහාරාශ්ට්‍රයේ ආසන 23 ක් සහ බටහිර බෙංගාලයේ ආසන 18 ක් දිනාගත්තා. ඒ අනුව, එම ප්‍රාන්ත තුනේදී පමණක් ඔවුන් පසුගිය මැතිවරණයට වඩා ආසන 49 ක් අඩුවෙන් මෙවර දිනාගෙන තිබෙනවා. භාරතීය ජනතා පක්ෂයට මෙවර තනි බහුතරයක් ලබාගැනීමට අඩු වූයේ ආසන 32 ක් පමණයි.
මෙම පසුබැසීම් තුනෙන් වැඩියෙන්ම භාරතීය ජනතා පක්ෂයට දැනුණ පසුබැසීම සිදුවූයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී යි. පසුගිය වසර දහයක් තුළ සාර්ථක මැතිවරණ ප්‍රතිඵල වාර්තා කරමින් එම ප්‍රාන්තය සිය බලකොටුවක් ලෙස සැලකූ භාරතීය ජනතා පක්ෂයට මෙම පසුබැසීම අදහාගැනීම පහසු වූයේ නැහැ.
මෙම පසුබැසීමට ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් බලපෑ බව පෙනී යනවා. සමාජවාදී පක්ෂයේ අකිලේශ් යාදව්ගේ මැතිවරණ ව්‍යාපාරයේ සාර්ථකත්වය එයින් එක් වැදගත් සාධකයක් වූ අතර එයට සමගාමීව මයාවතීගේ බහුජන සමාජ් පක්ෂයේ ඡන්ද පදනම කඩාවැටීම ද සිදුවුණා. සමාජවාදී පක්ෂය උත්තර් ප්‍රදේශ් හි ආසන 37 ක් දිනාගත අතර බහුජන සමාජ් පක්ෂයට එකදු ආසනයක් හෝ දිනාගත හැකිවූයේ නැහැ. මායාවතී වෙතින් ගැලවුණ දලිත් ඡන්දවලින් සැලකියයුතු කොටසක් සමාජවාදී පක්ෂය, කොන්ග්‍රස් පක්ෂය INDIA ප්‍රමුඛ සන්ධානය වෙත ඇදී ගියේ යයි සිතීමට හැකියාව තිබෙනවා. එම ඡන්ද එතරම්ම භාරතීය ජනතා පක්ෂය වෙත ආකර්ශණය වූ බවක් පෙනෙන්නේ නැහැ. මීට අමතරව ඇතැම් භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයන් කෙරෙහි මෙන්ම එම පක්ෂයේ ඇතැම් නායකයින්ගේ කටයුතු කෙරෙහි ද එම පක්ෂයේ ආධ්‍යාත්මික මූලය වන රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් එතරම්ම පැහැදීමකින් නොසිටි බව ද පෙනී යනවා. ස්වයම්සේවක්වරුන් මෙවර ක්‍රියාකාරී ලෙස භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයන් සමහරුන් වෙත සිය සහය දැක්වූයේ නැති බවයි වාර්තා වන්නේ.
උත්තර් ප්‍රදේශ් හි පසුබැසීමත් සමග, එම ප්‍රාන්තයේ මහ ඇමති වන යෝගි අදිත්‍යනාත් වෙත පක්ෂයේ ප්‍රබලයන් ඇතැමෙක් වෙතින් චෝදනා එල්ල වීමට පටන් ගෙන තිබෙනවා. උත්තර් ප්‍රදේශ් හි නියෝජ්‍ය මහ ඇමති කේශව් ප්‍රසාද් මෞර්යා ප්‍රසිද්ධියේම අදිත්‍යනාත් විවේචනය කිරීමට පවා පසුබට වූයේ නැහැ. යෝගි අදිත්‍යනාත් මහ ඇමති ධුරයෙන් ඉවත් කිරීමේ අවකාශය පිළිබඳව ද කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
BJP සහ RSS

භාරතීය ජනතා පක්ෂය සහ ඊට සම්බන්ධ අනෙකුත් ආයතන ජාලය නිර්මාණය වන්නේ රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හරහා යි. මෙය සංග් පරිවාරය හෙවත් සංවිධාන පවුල යයි හඳුන්වනු ලබනවා. රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් වෙත අනුබද්ධිත මෙවන් සංවිධාන ගණනාවක් වනවා. ඒ අතර ඔවුන්ගේ ශිෂ්‍ය සංගමය වන අකිල් භාරතීය විද්‍යාර්ථි පරිශදය ඉන්දියාවේ විශාලම ශිෂ්‍ය සංගමය බවට පත්ව තිබෙනවා. භාරතීය මස්දූර් සංග් අද වනවිට ඉන්දියාවේ ප්‍රධානම වෘත්තීය සමිතිය වන අතර භාරතීය කිසාන් සංග් යනු එහි ප්‍රධානම ගොවි සමිතිය යි. මීට අමතරව විශ්ව හින්දු පරිශදය ද සංග් පරිවාරයට අයත් ආන්දෝලනාත්මක සංවිධානයක්. තවද සමාජ සේවා, අධ්‍යාපන, නීතිවේදී, කාන්තා, ගුරු, ලේඛක, කලාකරු, වෛද්‍ය යනාදී විවිධාකාර ක්ෂේත්‍ර ආවරණය වන සංවිධාන සංග් පරිවාරයෙහි වනවා. රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් යනු මේ සියල්ල බැඳී ඇති හුය යි.
මේ පසුබිම යටතේ, පසුගිය මැතිවරණ සමයේදී භාරතීය ජනතා පක්ෂ සභාපති ජේ.පී. නඩ්ඩා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳ දැඩි අවධානයක් යොමු වුණා. ඔහු සඳහන් කළේ මැතිවරණ ජයගැනීම සඳහා බීජේපීයට තවදුරටත් රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් අවශ්‍ය නොවන බවයි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය මහමැතිවරණ ජයගැනීමට ප්‍රමාණවත් වේ යයි ඔහු උපකල්පනය කළ බවක් පෙනී යනවා.
මෙම ප්‍රකාශය පිළිබඳ රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් එතරම් සතුටට පත් නොවූ බව පැහැදිලියි. එමෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පුද්ගලවාදය ඉස්මතු වීම පිළිබඳ ද ඔවුන් එතරම් සතුටු නොවූ බව පෙනෙන්නට තිබෙනවා. රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් යනු පුද්ගලයාට වඩා ව්‍යාපාරය ප්‍රමුඛ ලෙස සලකන සංවිධානයක් වීම ඊට හේතුවයි. එය සියවසකට ආසන්න කාලයක් පුරා ගොඩනැගී ඇත්තේ එම මතවාදී ස්ථාවරය තුළයි.
තමන් වෙතින් සිදුවූ ඇතැම් වැරදි පිළිබඳ නැවත හැරී බලනවාට වඩා ඇතැම් භාරතීය ජනතා පක්ෂ නායකයින් වෙනත් වරදකරුවකු සොයාගැනීමේ උත්සාහයක් ගන්නා බව පෙනී යනවා. ඔවුන්ට ඍජුව රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් වෙත ඇඟිල්ල දිගි කරන්නට බැහැ. එහෙයින් යෝගි අදිත්‍යනාත් හොඳ නිදහසට කාරණාවක් කරගත හැකියි.
අදිත්‍යනාත් සහ BJP
යෝගි අදිත්‍යනාත් 1998 සිට පස් වතාවක් ලෝක් සභා මන්ත්‍රීවරයකු ලෙස ගෝරක්පූර් අසුනින් තේරීපත් වූ නමුත් ජාතික මට්ටමෙන් කරලියට පැමිණියේ 2017 දී උත්තර් ප්‍රදේශ් මහ ඇමති ලෙස නම් කරන ලද පසුවයි. එයින් අනතුරුව ඔහු ජාතික මට්ටමෙන් ද භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන කථිකයකු වුණා. මෑතක් වනතුරු ඊළඟ අගමැතිවරයකු පවා වියහැකි බවට විශ්වාස කරන ලද අයකු වූ නමුත් වර්තමානයේ සිදුවන හැලහැප්පීම් හමුවේ ඔහුගේ අනාගතය අවිනිශ්චිත වී තිබෙනවා.
පසුගිය මහමැතිවරණ ව්‍යාපාරය තුළ යෝගි අදිත්‍යනාත් පසෙකට තල්ලු වී සිටියා. ඔහු උත්තර් ප්‍රදේශයෙන් එපිට මැතිවරණ රැළි ඇමතීමට ද යොදාගනු ලැබූයේ නැහැ. එමෙන්ම උත්තර් ප්‍රදේශ් හි පවා ලෝක් සභා අපේක්ෂකයන් තෝරාගැනීමේ දී ඔහුගේ අදහස් සැලකිල්ලට භාජනය කෙරුණේ නැහැ. යෝගි අදිත්‍යනාත්ගේ ප්‍රබල අනුගාමිකයන් විශ්වාස කරන්නේ භාරතීය ජනතා පක්ෂය තුළ තමන්ට අභියෝගයක් විය හැකි බැවින් අමිත් ෂා විසින් යෝගි අදිත්‍යනාත් කොන් කිරීමට කටයුතු කරන බවයි. මෙවර මැතිවරණයේදී ද අපේක්ෂකත්වයන් ලද බොහෝ දෙනෙක් ඒ සඳහා අමිත් ෂාට ස්තූතිවන්ත වියයුතු බවත්, එහෙයින්ම අනාගත බල අරගලයකදී තම පාර්ශවය ගනු ඇතැයි අමිත් ෂා විශ්වාස කරන බවත් පැවසෙනවා.
පසුගිය සමය මුළුල්ලේ භාරතීය ජනතා පක්ෂය විසින් විවිධ ප්‍රාන්තයන් හි ප්‍රබල චරිත ඉවත් කර වෙනත් නායකයන් ආදේශ කළා. 2023 අවසානයේ රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් සහ චත්තිස්ඝර් ප්‍රාන්ත මැතිවරණ ජයගැනීමෙන් අනතුරුව අලුතින් මහ ඇමතිවරුන් පතිකිරීම එයට එක් උදාහරණයක්. එහිදී මහ ඇමතිවරුන් ලෙස පත්වූයේ කලක් තිස්සේ සංග් පරිවාරය තුළ කැපවීමෙන් කටයුතු කළ අය යි. ඒ අර්ථයෙන් පක්ෂය පෙන්නුම් කළේ තම ව්‍යාපාරයට පක්ෂව කටයුතු කරන්නන්ට පක්ෂය කෘතවේදී වන බවයි. එමෙන්ම ඒ හරහා පක්ෂයේ නායකත්වයට අභියෝගයක් විය හැකි ප්‍රබලයන් පසෙකට තල්ලු කිරීම ද සිදු කරනු ලැබුණා.
යෝගි අදිත්‍යනාත් සහ RSS

යෝගි අදිත්‍යනාත් එතරම්ම පහසුවෙන් ඉවත් කළ හැකි අයකු නොවේ. ඔහු වටා එක්ව තිබෙන අනුගාමිකයන් ප්‍රමාණය සැලකීමේදී ඔහුව සම්පූර්ණයෙන්ම පසෙකට තල්ලු කිරීමේ අවදානම පැහැදිලි වනවා. මෙහිදී සංග් පරිවාරය තුළ වැදගත් භූමිකාවක් ඉටු කරන රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි මතය ද වැදගත් වනවා.
රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් සාමාජිකයන් යෝගි අදිත්‍යනාත්ව ප්‍රිය කරනවා. ඔහු රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් මතවාදය ඉදිරියට ගෙන යා හැකි ප්‍රබල චරිතයක් වීම එයට හේතුවයි. නමුත් යෝගි අදිත්‍යනාත් රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් සමග කුඩා සමයේ සිට වැඩුණ අයකු නොවේ. තරුණ සිසුවකු ව සිටි අවධියේ ඔහු අකිල් භාරතීය විද්‍යාර්ථි පරිශදය සමග සම්බන්ධව සිටි හෙයින් ඔහු සංග් පරිවාරයට සම්බන්ධ අයකු වුණත්, ස්වයම්සේවක්වරයකු නොවේ. එමෙන්ම යෝගි අදිත්‍යනාත් හින්දු ජාතිකවාදී වේදිකාවට පිවිසෙන්නේ වෙනත් මාර්ගයකින්.
යෝගි අදිත්‍යනාත්ගේ ගුරුවරයා වූ මහාන්ත් අවෛද්‍යනාත් මෙන්ම ඔහුගේ ගුරුවරයා වූ දිග්විජයනාත් ද ගෝරක්පූර් මට් හි ආගමික නායකයන් වුණා. දිග්විජයනාත් මෙන්ම අවෛද්‍යනාත් ද අයෝධ්‍යා රාම් ජන්මභූමි ව්‍යාපාරයේ ප්‍රබලයින් වූ අතර භාරතීය ජනතා පක්ෂයට පරිභාහිර ජාතිකවාදී වේදිකාවකින් ඔවුන් පැමිණෙනවා. දිග්විජයනාත් මුලින් හින්දු මහාසභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයෙක්. අවෛද්‍යනාත් බීජේපීයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නමුත් ඔහු ද රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් සාමාජිකයකු වූයේ නැහැ. යෝගි අදිත්‍යනාත් ද තරුණ කාලයේ හින්දු යුව වාහිනී නම් වූ තරුණ සංගමයක් තමන් යටතේ ගොඩනැගූ අයෙක්.
මෙසේ වෙනත් මාර්ගයකින් පැමිණි අයකු හෙයින් යෝගි අදිත්‍යනාත් රාෂ්ත්‍රීය ස්වයම්සේවක් අභ්‍යන්තරිකයකු වන්නේ නැහැ. එමෙන්ම ඔහුගේ පුද්ගලවාදය ද ප්‍රබලයන්ට එතරම් රුස්සනු ඇතැයි සිතන්නට බැහැ. එහෙයින් ඔහු පිළිබඳව නායකයන්ට තිබෙන්නේ “උණු නිසා බොන්නත් බැරි, කිරි නිසා ඉවත දමන්නත් බැරි” ආකාරයේ මතයක්.
යෝගි අදිත්‍යනාත් මේ තත්ත්වය නොදන්නවා නොවේ. එහෙයින් ඔහු අපේක්ෂා කරන්නට ඇත්තේ තම එදිරිවාදීන්ට තමන්ව ඉවත් කරන්නට නොහැකි වන ආකාරයේ ප්‍රබල පරිවර්තනයක් උත්තර් ප්‍රදේශ් හි සිදුකිරීම විය හැකියි. නරේන්ද්‍ර මෝදි ගුජරාටයේ කල කාර්යයන් ඔහුගේ දේශපාලන අනාගතය තහවුරු කළ අයුරු අදිත්‍යනාත් දැක ඇතිවාට සැකයක් නැහැ. නමුත් 2002 වසරේ සිදුවූ ජන ඝාතනයන්ගෙන් අනතුරුව ඇතිවූ කලබගෑනියේදී මහ ඇමති ධුරය ආරක්ෂා කරගත්තාට පසුව මෝදිට එම තනතුර අහිමිවීමේ අවදානමක් මතු වූයේ නැහැ. යෝගි අදිත්‍යනාත්ට එතරම් කාලයක් ලැබේද යන්න නිශ්චිතව කිව නොහැකියි.
චාමර සුමනපාල
Leave a Reply