ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ශානි අබේසේකර ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන අදට වසර 04ක් සපිරෙද්දී ඔහු යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබේ.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර නතර කර ගැනීමට අපහොසත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඊට අදාලව අබේසේකර මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන කොට්ඨාසය යටතේ විමර්ශන ආරම්භ කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
මේ දෙදෙනා පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරි බවට 2019 නොවැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව ද ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව චෝදනා එල්ල කළ අතර ඔවුනට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යටතේ විමර්ශන කිහිපයක්ම සිදු කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී ඔවුන්ට එරෙහිව නගා ඇති චෝදනා අසත්‍ය බව අනාවරණය වීමෙන් පසු එහි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඒ බව 2020 ඔක්තෝබර 28 වැනිදා එවකට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට වාර්තා කළේය.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය ද කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ අබේසේකර මහතාට කරන චෝදනා අසත්‍ය බවයි.
එසේ තිබියදී ඒ දෙදෙනා ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් බලකායේ වේදිකාවට ගොඩවූ පසු යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. විදේශගතව සිට යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අජිත් ධර්මපාල නම් හිටපු පොලිස් සාමාජිකයා තම යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් පල කරමින් පසුගිය දා ප්‍රකාශ කළේ ජනාධිපති උපදේශකයකුගේ නියෝග මත ශානි අබේසේකර යළි අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ශානි අබේසේකර මීට පෙර අත්අඩංගුවට ගත්තේ 2020 ජූලි 31 වැනිදාය. ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහු මාස 10කට වැඩි කාලයක් රිමාන්ඩ් බාරයේ තබාගෙන සිටි අතර අභියාචනාධිකරණය ඔහුට ඇප ලබාදෙමින් තම නියෝගයේ සඳහන් කළේ පසුව ඇතිවූ සිතිවිලි මත අබේසේකර මහතාට මෙම චෝදනා නගා ඇති බවයි. ඔහුට එරෙහිව කිසිම සාක්කියක් නොමැතිවීම නිසා නීතිපති උපදෙස් පරිදි පසුව ඔහු නිදහස් කරන ලදී.
1986 වසරේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ ශානි අබේසේකර මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ වසර 10ක් මෙහෙයුම් කලාපවල සේවය කළේය. ඉන් අනතුරුව යළි සාමාන්‍ය පොලිස් සේවයට පැමිණි ඔහු නාරාහේන්පිට පොලිසියේ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ සේවය කළ අතර සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර් ඝාතනය කිරීමේ සිදුවීම විමර්ශනය සිදු කිරීමෙන් පසු 1999 ජනවාරි මස 10 වැනිදා ස්ථිර ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කරනු ලැබීය.
2007 සිට වසර එක හමාරක පමණ කාලයක් ඔහු යාපනය සහකාර පොලිස් අධිකාරී ලෙසද සේවය කළේය.
2017 වසරේ දී ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස පත්කළේය. 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරීමෙන් පසු අග්‍රමාත්‍යවරයා පත් කරන්නටත් පෙර 2019 නොවැම්බර් මාසයේදී ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස මාරු කරනු ලැබුවේ ඔහු ශ්‍රී ලංකා පොලිසියේ ඒ වන විට සිටි ජ්‍යෙෂ්ඨතම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටියදීය.
2015ට පෙර ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සහ වධහිංසා කිරීමට අදාල සිදුවීම් කිහිපයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කළ අතර එම විමර්ශනවලදී අනාවරණය වූ සාක්කි මත හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කැඳවා 2018ී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ද සටහන් කර ගත්තේය. මේ හේතුවෙන් අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ඔහුට හිතවත් පාර්ශ්වවල වෛරයට පාත්රවිය.
ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් MediaLK අධ්‍යක්ෂණය කළ වාර්තාමය චිත්‍රපටයේදී තමන්ට එල්ලවන චෝදනා ගැන ඔහු කරුණු පැහැදිලි කළේය. එම වාර්තාමය චිත්‍රපටයේ අවසන් කොටස පහත දැක්වේ.
සටහන – තරින්දු ජයවර්ධන ( medialk )
Leave a Reply