Loading...

මන්නාරම් මුහුදේ අයිතිකාරයෝ

මන්නාරම තලෙයිමන්නාරම මුහුදු තීරයන් ගත්විට ඉන්දියාවට ඉතා සමීප වුවද අද වන විට ඉන්දීය ධීවරයෙකු මන්නාරම් මුහුදට ඇතුල්වන්නේනම් මන්නාරම් ධීවරයින් සමග කා කොටා ගන්නා බව රහසක් නොවන කරුණක් වී ඇත.මන්නාරම් මුහුදේ මත්ස්‍ය සම්පත යනු මෙරට ධීවර කර්මාන්තයේ දියුණුව උදෙසා විශේෂ ස්ථානයක් හිමිවෙයි. මේ නිසාම මන්නාරම් මුහුදු සීමාවට නිතර දෙවේලේ ඉන්දීය ධීවරයින් හොර රහසෙම පැමිණෙන්නේ මේ මත්ස්‍ය සම්පත ඉන්දියාවට රැගෙන යාමටය.

කෙසේ වෙතත් ධීවර කර්මාන්තයේ යෙදෙන ඔිනෑම ධීවරයෙකුට මූහුදු සීමාව රලුවීම හේතුවෙන් වෙනත් මුහුදු සීමාවන් සොයා යාමට සිදුවන්නේ අවුරුද්දෙන් මාස 6 කට ආසන්න කාලයක්ම මෙම තත්වය පවතින නිසාවෙනි. ධීවරයින් මෙය වාරකං සමයලෙසින් හඳුන්වන අතරම උදාහරණයක් වශයෙන් පුත්තලම, හලාවත, මීගමුව වැනි මුහුදු සීමාවන්හි ජීවත්වන ධීවරයින්ට වාරකං සමය සෑම වසරකම මැයි මස අවසානයේ ජුනි මාසයේ මුල පමණ ආරම්භ වෙයි. මේ හේතුව නිසාම වාරකං සමය අවසන් වනතුරු උතුරු මුහුදට හෝ නැගෙනහිර මුහුදු සීමාවන්ට සංචාරක ධීවරයින් දහස් ගණනක් ගොස් ධීවර කටයුතුවල නිරත වීම කාලාන්තරයක් තිස්සේ සිදුවන්නකි.

මේ නිසාම මන්නාරම් මුහුදු ප්‍රදේශන්ට ධීවර කටයුතු සඳහා දිවයිනේ බොහෝ පලාත් වල සිට සංචාරක ධීවරයින් විශාල ප‍්‍රමාණයක් පැමිණ ධීවර කටයුතු වල නිරත වන අතර මන්නාරම් මුහුද රලූ වන විට ඔවුන් නැවතත් සිය මුහුදු සීමාවන් වෙත ගමන් කරති.වාරකං සමයේදී ධීවරයින්ගේ ගමන්මග හා ධීවර කටයුතු ඒලෙස සිදුවන අතරවාරයේදී මේ සංචරක ධීවරයින් සිය මුහුදු සීමාවන්ගෙන් ඔබ්බට ගොස් මන්නාරම් මුහුදේ මසුන් අල්ලන කාල සීමාවන්හීදි විවිධ වූ දුක්ගැහැටවලට මුහුණ පෑමට සිදුවීමෙන් එය ධීවර කර්මානතයටද සෘජු ලෙසින්ම බලපා ඇත.

මන්නාරම් මුහුදු සීමාවන්හි තාවකාලික ධීවර වාඩි තනා එහි තාවකාලකව ජීවත්වන සංචරක ධීවර පවුල් වෙතට දෛනිකව බලපාන ගැටලු හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවටද සංචාරක ධීවරයින් පවසා සිටිති.දිවයිනේ වෙනත් පලාත්වල සිට උතුරු මුහුදේ ධීවර කටයුතු වල නිරත වන සංචාරක ධීවරයින් ධීවර කටයුතුවල නිරත වීමේදී ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම් නිසා උතුරු ධීවරයින්ට ඇති වන ගැටලූ වලට වඩා ගැටලූ රැසකට තමන්ට මුහුණ පෑමට සිදු වන බවට මන්නාරමේ සිටින සංචාරක ධීවරයින් මෙසේ කියා සිටිති. 

මන්නාරම ශිලාවතුර ප‍්‍රදේශයට පැමිණ මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරතව සිටින ධිවරයෙකු වන රංජිත් වර්ණකුලසූරිය මහතා කියා සිටියේ 

‘‘අපේ ගම් පලාත් වල මුහුදු සීමාව අවුරුද්දට මාස 6ක් විතර රලූ වෙනවා එක නිසා අපි බෝට්ටු වලින් උතුරට ඇවිත් දහදුක් විඳලා මාලූ අල්ලනවා ධීවර බලධාරීන් මේ වෙනකම් කතාකරන්නේ උතුරේ ධීවරයින් ගැනයි ඉන්දීය ධීවරයින් ගැනයි නමුත් උතුරේ දහදුක් විඳින සංචාරක ධීවරයින් ගැන මේ වෙනකම් කිසිම කතාවක් නැහැ… අපි මන්නාරෙමි මිනිස්සු නොවෙයි.අපේ උපන්ගම් පළාත මීගමුව ප‍්‍රදේශය.ඒත් මීගමුව පැත්තේ මේ දවස්වල සරු මාළු අස්වැන්නක් ලැබෙන්නේ නෑ. අවුරුද්දේ අවසන් මාස කීපයේ මන්නාරම, තලෙයිමන්නාරම, මුලතිවි,ප‍්‍රදේශවල මුහුදේ හොඳ මාළු අස්වැන්නක් තිබෙනවා ඒ නිසා අපේ ගම් පළාතේ මාළු අස්වැන්න අඩුවෙන කාලයට බෝට්ටු මගින් ජුනි ජූලි ඉඳන් දෙසැම්බර් වගේ මාස වෙනකම් උතුරු පළාතට ඇවිල්ලා අපේ ධීවර රස්සාව කරනවා.අපිට ජිවත්වෙන්න වෙනත් රස්සාවක් කරන්න නැති හින්දා අඹු දරුවෝ ගෙවල්වල තියලා ඇවිල්ලා බෝට්ටු මගින් තැනින් තැනට ගමන් කරලා මේ ධීවර රස්සාව කරනවා.තැනින් තැනට ගිහිල්ලා ධීවර රස්සාව කරේ නැත්නම් අඹු දරුවෝ බඩගින්නේ.ඒ හින්දා මොන කරදරයක් විඳගෙන හරි අපි රස්සාව කරනවා.අපි හැම අවුරුද්දේම වාගේ මාස හයක් අපේ ගම් පළාතේ මාළු අල්ලනවා.ඉතිරි මාස හයක කාලය උතුරු පළාතේ මුහුදේ මාළු අල්ලනවා”

මන්නාරම සිලාවතුර ප‍්‍රදේශයේ ධීවර රැකියාව සිදුකල සංචාරක ධීවරයෙකු වු සුනිල් ජෝශප් ධීවරයා කියා සිටියේ

”වෙනත් පළාත්වලින් ඇවිල්ලා මන්නාරම, මුලතිවි ප‍්‍රදේශවල මාළු අල්ලනවාට උතුරේ ධීවරයෝ කැමති නෑ.වෙනත් පළාතක ධීවරයෝ තමන්ගේ පළාතේ මුහුදේ මාළු අල්ලනවාට කවුරුත් කැමති නෑනේ. මේ නිසා අපි මාළු අල්ලන්න එනකොට නොසෑහෙන්න කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.අපි ඔක්කෝම ධීවර රස්සාව කරලා ජිවත්වෙන්නේ කියලා හිතන හොඳ මිනිස්සුත් ඉන්නවා.ඒත් තවත් පිරිසක් ඉන්නවා පිට පළාත්වලින් පැමිණෙන ධීවරයින්ට නොයෙක් ආකාරයේ පීඩාවන් සිදුකරන.ඒවාගේ කණ්ඩායමකට අහුවුණොත් පිට පළාත්වල ධීවරයින්ට වැල්ලේ වාඩියක්වත් ගහගන්න දෙන්නේ නෑ.

වෙනත් පළාතකින් පැමිණෙන ධීවරයෝ තමන් නැවතිලා ධීවර රැකියාව කරන්න බලාපොරොත්තු වන ප‍්‍රදේශයේ ධීවර සමිති වල නායකයින්ගෙන් සංගම් වලින් අවසරය ලබාගන්න  ඕනෑ.එහෙම අවසරය අරගෙන වැල්ලේ පැල්පත් හදාගෙන තමයි මේ රස්සාව කරන්න  ඕන. අපි එහෙම අවසරය අරගෙන මාලු ඇල්ලූවත්, තැනින් තැනට ගිහිල්ලා අල්ලන මාළු කල්තබා ගන්න ක‍්‍රමයක් අපිට නෑ.බෝට්ටු වලින් සංචාරය කරමින් ධීවර රස්සාව කරන අපිට මාළු කල්තබා ගන්න අවශ්‍ය ශීතකරණ නෑ. කල් තබාගන්න ශීතකරණ තිබුනත් ඒවා ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට රැගෙන යන්න බෑ. ඒ හින්දා අල්ලන මාළු වැල්ලට රැගෙන පැමිණි විගස විකුණනන්න  ඕනේ. එහෙම නැත්නම් මාළු නරක් වෙනවා. දුක් කරදර විඳගෙන අල්ලන මාළු ටික කල් තබාගන්න ක‍්‍රමයක් නැති නිසා කුණු කොල්ලයට විකුණන්න සිද්ධවෙන අවස්ථා  ඕනෑ ක්‍රම තිබෙනවා. බෝට්ටු මගින් තැනින් තැනට ගොස් රැකියාව කරන අපිට හරියට කෑමක්, බීමක් නෑ. නිදියගන්න ක‍්‍රමයක් නැතුව විදින කරදර කියලා නිමක් කරන්න බෑ. සංචාරක ධීවර කර්මාන්තයේ යෙදිලා ඉන්න ධීවරයින් ගැන අදාළ ප‍්‍රදේශයන් භාර වගකිව යුතු නිළධාරීන් සොයා බලන්නේ නෑ.

අපේ පලාතක ඉඳලා ඇවිල්ලා අපේ බෝට්ටුවක් මන්නාරම් වැල්ලට දැම්මොත් කරදර වැඩියි. එහෙම කළොත් ප‍්‍රදේශයේ ධිවරයෝයි,මාළු මුදලාලිලාගෙනුයි නොයෙක් කරදර විදින්න වෙනවා. ඒත් මන්නාරම් මාළු මුදලාලිලාගේ බෝට්ටුවල වැඩ කරනකොට අපිට කිසි කරදරයක් නෑ. මුදලාලිගේ බෝට්ටුවේ ගිහිල්ලා මාළු අල්ලලා මුදලාලිට ගෙනැත් දෙනවා. අල්ලන මාළු කිලෝ ගාණට මුදලාලි සල්ලි දෙනවා.නමුත් අපි  අපේ බෝට්ටුවක් දැම්මොත් මන්නාරම් ප‍්‍රදේශයේ මුදලාලිලා අපේ මාළු ටිකවත් ගන්නේ නෑ.අපේ ගම් පළාතේ මාළු අල්ලන්න බැරි කාලයට අපි මන්නාරම් ඇවිල්ලා කාගේ හරි මුදලාලි කෙනෙක් ළඟ වැඩ කරලා කීයක් හරි හොයාගෙන ජිවිතේ රැක ගන්නවා”

උතුරු පළාතේ සංචාරක ධීවරයින් විදින ගැටලු සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතා සංවිධානයේ සම්බන්කාධීරක ඇන්ටන් ජේසුදාසන් මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ.

වෙනත් පළාත්වලින් උතුරේ ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින්ට උතුරු පළාතේ ධීවරයින්ගෙන් කරදර තිබෙනවාද?

වෙනත් පළාතකින් පැමිණි ධීවරයින්ට ඇතැම් පිරිස් කරදර කෙරුවාට උතුරේ ධීවරයො හැම කෙනෙක්ම එහෙම නෑ

උතුරේ ධීවර කටයුතු සිදු කරන සංචාරක ධිවරයින්ට අවශ්‍ය පහසුකමි තිබෙනවාද?

“උතුරු පළාතේ ධීවර කටයුතු සිදු කරන සංචාරක ධීවරයින්ට අවශ්‍ය පහසුකම් නෑ.ඔවුන් ඇතැම් පිරිස් බෝට්ටුවලින් පැමිණ ඉන්න හිටින්න තැනක් නැතුව,කන්න,බොන්න නැතුව අනන්ත දුක් විදිනවා.ඒත් ඔවුනට අවශ්‍ය පහසුකම් හෝ සහනයක් ලබාදෙන්න ධීවර අමාත්‍යාංශය කටයුතු කරන්නේ නෑ”

සංචාරක ධීවරයින්ගේ ගැටළු විසදන්න ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද?

“ධීවර ඇමතිතුමා සමඟ සාකච්ජා කරලා අදාළ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදිලා අපේ රටේ ධීවර හැදුනුම් පත හිමි සියළු දෙනාට නිදහසේ ධීවර රැකියාව සිදු කරන්න අවශ්‍ය කටයුතු සළසා දීම තමයි අපේ එකම බලාපෙරෙත්තුව . නමුත් පවතින රාමුව තුල ඉන්දීය ධීවර ගැටලුවට විසඳුමක් ලබදීමට දෙරටේම නායකයින්ට නොහැකි වී ඇති අවස්ථාවක මේ සංචාරක ධීවර ගැටලුවට විසඳුමක් ලබාගැනීමට යම් කාලයක් ගතවෙනු ඇති බවනම් කිව යුතුයි. මේ ගැටලුවත් දැන් ඉන්දීය ධීවර ගැටලුව වගේ අවුරුදු ගණනක් තිස්සේ පවතින ගැටලුවක් මේ වන තුරුත් කිසිදු රජයක් හෝ වෙනත් පාර්සවයක් විසඳුමක් ලබාදීමට අපොහොසත් වෙලා”

කෙසේ වෙතත් මහ මුහුදේ රල සමග පොර බදා ජීවත් වන්නට වෙර දරන මෙම සංචාරක ධීවරයින්ගෙන්ද රටෙහි ආර්ථික සංවර්ධනයට ඉමහත් ශ‍්‍රමයක් වැයවන අවස්ථාවක මොවුන් පිළිබඳව සොයා බැලීමට සියලු දෙනාගේ වගකීමක් වශයෙන් අවධානය යොමු විය යුතුය.

සටහන – රොමේෂ් මදුශංක

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *