පොකුණු තුළ ඉස්සන් වගා කිරීම අපේ රටේ පමණක් සිදු වන්නක් නොව. වියට්නායමය,ඉන්දියාව,බංගලාදේශය,ඉක්වදෝරය වැනි රටවල් වලද පොකුණු තුළ ඉස්සන් වගා කිරීම බහුල ලෙස සිදු කරති.
නමුත් එම රටවල ඉස්සන්ට වඩා මෙරට ඉස්සන්ට විදේශ වෙළද පළේ ඇත්තේ ලොකු ඉල්ලුමකි. ඊට හේතුව වී ඇත්තේ පෙර සදහන් කර ඇති බොහෝ රටවල් වල ඉස්සන් පොකුණු පවත්වා ගෙන යනු ලබන්නේ පොලිතින් ආවරණ යොදා ගෙන වන බැවිනි.නමුත් අපේ රටේ මෑතක් වන තුරුම ඉස්සන් වගා කරණු ලැබුවේ “මඩ” පොකුණු වලය.එම තත්ත්වය නිසා වෙනත් රටවල් වලට වඩා අප රටේ ඉස්සන්ට විශාල ඉල්ලුමක් ඇතිවී තිබුණි.
මෙරට පොකුණු තුළ ඉස්සන් වගා කිරීම ආරම්භ කරන ලද්දේ 1982 වසරේදීය. මහවැව – මට්ටාකොටුව ප්‍රදේශයේ කලපුව ආසන්න භූමියක පළමු ඉස්සන් ගොවිපල පුද්ගලික ආයතනයක් විසින් ආරම්භ කරන ලදි.දෙවන ඉස්සන් ගොවිපල පුත්තලම – වනාතවිල්ලුව ප්‍රදේශයේ ආරම්භ කරන ලදි.වැඩි දිනක් යන්නට පෙර පුත්තලම,කල්පිටිය,මුන්දලම,වනාතවිල්ලුව සහ හලාවත කලපු තීරය ආසන්නයේ තිබූ මුඩු ඉඩම් බොහෝමයක් ඉස්සන් ගොවිපල බවට පත් විය.එසේ ඉස්සන් ගොවිපල බවට පත්වූ ඉඩම් බොහෝමයක් රජයට අයත් ඒවා විය.ඇතමුන් රජයේ ඉඩම් නීත්‍යාණුකූල ආකාරයට බදු පදනම මත ලබා ගෙන තිබූ අතර,බොහෝ ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර තමන් සතු කර ගෙන තිබූ බවටද පසු කාලෙක අනාවරණය විය.
කලපු ඉව්රේ සරුවට වැවී තිබුණු “කඩොලාන” ඇතමුන් විසින් මහ දවල් කපා විනාශ කරමින් ඉස්සන් පොකුණු හැදුවේය.දර පිණිස කඩොලාන කෝටුවක් කපා ගන්නා අහිංසකයින් අල්ලා දඩුවම් ලබා දෙන නිළධාරීන් ඉස්සන් ව්‍යාපාරිකයින් දෙස“ පැත්තවත් හැරී නොබැළුවේය”.ඒ නිසාම සිදුවූ විනාශය අති විශාලය.ඒ ගැන කථා කිරීමෙන් පලක් වන්නේම නැත.“පරිසරයට හෙන ගැහුවත් විදේශ විනිමය ලැබෙන නිසා” කිසිවෙකුත් එදා මුව විවර කරන්නට උත්සාහ නොකළේය.
පොකුණු තුළ ඉස්සන් වගා කිරීම සදහා යොදා ගත්තේ “මොනඩෝන්” හෙවත් “වයිල්ඩ් කැච්” නම් ඉස්සන් ප්‍රබේදයකි.ගැඹුරු මුහුදෙන් අල්ලා ගන්නා මව් ඉස්සන් ගොඩ බිමට ගෙනවිත් අභිජනනාගාර වලදී අභිජනනය කර පැටවුන් ලබා ගැනීම සිදු කරන ලදි.ඒ අනුව පොකුණු වලට අවශ්‍ය පැටවුන් ලබා දීම සදහා හලාවත මුහුදු තීරය තුළ ඉස්සන් අභිජනනාගාර ඉදි වන්නට විය.මේ වන විට ඉස්සන් අභිජනනාගාර 52 ක් තිබෙන බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.මෙරට වගා කරණු ලබන ඉස්සන්ගේ ප්‍රධානතම අලවි සැළ වුයේ විදේශ රටවල්ය.විශේෂයෙන්ම බටහිර රටවල් වලින් මෙරට ඉස්සන්ට හොද ඉල්ලුමක් ඒ කාලයේදී ඇතිවී තිබුණි.
1989 වසර වන විට ඉස්සන් ව්‍යාපාරයන් අතර “සුදු පුල්ලි” සහ “කහ පුල්ලි” රෝගය පැතිර යන්නට විය.ඉස්සන් ව්‍යාපාරය දැවැන්ත ලෙස එම රෝගී තත්ත්වයත් සමග කඩා වැටෙන්නට විය.නමුත් ව්‍යාපාරිකයා වැඩේ අතහැරියේ නැත.ඉස්සන් ව්‍යාපාරය සමග කාලයක් තිස්සේ අත්වැල් බැද ගෙන සිටින තායිවානය වැනි රටවල් වලින් පැමිණි විශේෂඥයින්ගේ උපදෙස් මත වැඩි කාලයක් ගත වන්නට පෙර තම පොකුණු වල පැතිර තිබූ වෛරස් රෝග මර්ධනය කරන්නට ව්‍යාපාරිකයින් සමත් විය.ඒ අනුව නැවත වතාවක් ඉස්සන් ව්‍යාපාරය “ අළු ගසා” දමමින් ඉදිරියට පැමිනෙන්නට විය.
පුත්තලමේ සාර්ථක ලෙස ඉස්සන් වගා කළ ඇතැම් ව්‍යාපාරිකයින් මඩකලපුව, මන්නාරම වැනි ප්‍රදේශ වලටද ගොස් ව්‍යාපාර කටයුතු ආරම්භ කළේය.මීට වසර දෙකකට පමණ පෙර තංගල්ල ප්‍රදේශය තුළද ආරම්භ කර තිබුණි.
මේ අතර මෙරට පොකුණු ඉස්සන්ට සංචාරක ව්‍යාපාරයෙන්ද ඉල්ලුමක් ඇති වන්නට විය.විදේශ වෙළද පල හා සමාන ආදායමක් ලැබෙන හෙයින් ඇතැම් ව්‍යාපාරිකයින් තම ඉස්සන් අස්වැන්න මෙරට සංචාරක හෝටල් වලට අලවි කරන්නට විය.කෙසේ වෙතත් 2018 වසරේදී ඉස්සන් මෙට්‍රික් ටොන් 3000 ක් විදේශ වෙළද පලට යවා ඇති බව ලේඛණ වල සටහන් වේ.එතැන් සිට කිසියම් වර්ධනයක් පෙන්වා 2023 වසර වන විට ඉස්සන් මෙට්‍රික් ටොන් 11,000 ක් විදේශ වෙළද පලට යවන්නට සමත් විය. ඇතැම් විට 2022 – 2023 කාලයේ විදේශීය සංචාරකයින් මෙරටට පැමිණීම සීමා වීම නිසා ලැබුණු අස්වැන්න “ගෙඩිය පිටින්ම” විදේශ වෙළද පළට යැව්වා වන්නටද බැරි නැත.
2018 වසරේදී අපේ දේශපාලකයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් විසින් “වනාමී” නම් ඉස්සන් ප්‍රබේදයක් මෙරටට හදුන්වා දෙන ලදි.වනාමී ඉස්සන් අප රට තුළ වගා කිරීමෙන් අනාගතයේ අතුරු පළ විපාක රැසක් ඇති විය හැකි බව ඒ කාලයේ ඇතැම් ව්‍යාපාරිකයින් කියා සිටියේය.
“වනාමී” ඉස්සාගේ මව් රට දකුණු ඇමරිකාවය.ඒ අනුව දකුණු ඇමරිකාවෙන් මෙරටට ගෙන එන මව් ඉස්සන් තෝරා ගත් අභිජනනාගාර 04 කදී අභිජනනය කිරීමට ජලජීවී වගා සංවර්ධන අධිකාරිය තීරණය කරන ලදි.එසේ තෝරා ගත් අභිජනනාගාර වල උපදින පැටවුන් එක් දිනක් තුළ අනෙකුත් අභිජනනාගාර වෙත නිකුත් කිරීමේ කොන්දේසියක්ද ඒ සමග පනවන ලදි.එක් දින පැටවුන් බාර ගන්නා සෙසු අභිජනනාගාර හිමිකරුවන් එම පැටවුන්ව තවත් දින කීපයක් තමන් භාරයේ පෝෂණය කර අනතුරුව පොකුණු වලට මුදා හැරීම සදහා නිදහස් කළ යුතුව ඇත.වනාමී ඉස්සන් මෙරටට හදුන්වා දීමේදී වාසි සහගත කරුණු කීපයක් ඇති බව ඒ කාලයේ ප්‍රකාශ විය.එනම්,මොනඩෝන් ඉස්සන්ට වඩා වැඩි පැටවුන් ප්‍රමාණයක් පොකුණක තැම්පත් කිරීමට හැකි වීම,ආහාර අඩුවෙන් සැපයීම සහ වැඩි අස්වැන්නක් ලබා ගැනීම එම වාසි සහගත තත්ත්වයන් විය.නමුත් ඇතැම් ඉස්සන් ව්‍යාපාරිකයින් පුන පුනා කියා සිටියේ වනාමී ඉස්සන් අතර කිසියම් වෛරස් රෝගයක් පැතිර යාම සිදු වුවහොත් එය පාලනය කිරීම අසීරු වන බවය.
මේ අතර,2012 ඔක්තොම්බර් මස 21 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන හිටපු ධීවර ඇමතිවරයා මෙරට අභිනනාගාර තුළ මොනඩෝන් හෙවත් වයිල්ඩ් කැච් ඉස්සන් අභිජනනය කිරීම තහනම් කරන ලදි.එම ගැසට් නිවේදනයත් සමග වනාමී ඉස්සන්ගේ ඒකාධිකාරියක් මෙරට තුළ පැතිර යන්නට විය.
මේ අතර තවත් අපූරු දෙයක් සිදුවී ඇත.එනම් තම අභිනනාගාර වලදී උපදින පැටවුන් එක් දිනකදී සෙසු අභිජනනාගාර වෙත ලබා දීමට ඒ සදහා තෝරා ගත් පිරිස මැලි කමක් දැක්වීමය.වනාමී ඉස්සන් අභිජනනය සදහා තෝරා ගෙන තිබූ ඇතැම් අභිජනන හිමිකරුවන්ට ඉස්සන් පොකුණු තිබුණි.ඔවුන් තම පැටවුන් සෙසු ව්‍යාපාරිකයින්ට දෙනවා වෙනුවට කළේ තමන්ගේ පොකුණු වල තැම්පත් කිරීමය.මොනඩෝන් ඉස්සන් අභිජනනය තහනම් කිරීමත් වනාමී පැටවුන් නොලැබීමත් නිසා බොහෝ අභිජනනාගාර වැසී යන්නට පටන් ගත්තේය.
කාලය ගෙවී යන්නට විය.ව්‍යාපාරිකයින් පූර්ව අනතුරු හැගවීම් යථාර්ථයක් බවට පත් වෙමින් වනාමී ඉස්සන් අතර “EHP හෙවත් සුදු බෙටි” නම් වෛරස් රෝගයක් පැතිර යන්නට විය.පෙර කාලයේදී මොනඩෝන් ඉස්සන් අතර පැතිර ගිය වෛරස් රෝගයට වඩා මෙම තත්ත්වය බරපතල වන්නට විය. රෝගය පාලනය කිරීමට විවිධ ක්‍රම භාවිතා කළත් ඒ සියල්ලට වඩා EHP වෛරසය බලවත් වී සිටියේය.මේ තත්ත්වය නිසාම වර්තමානය වන විට මෙරට ඉස්සන් කර්මාන්තය 18% දක්වා කඩා වැටී ඇති බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.
සනත් රොද්‍රිගු මහතා ඉස්සන් ව්‍යාපාරිකයෙකු මෙන්ම අභිජනනාගාර හිමිකරුවෙකි.ඔහු මෙසේ සදහන් කළේය,
“දැන් ඉතිං වෙන්න ඕන හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි.අපේ රටේ ඉස්සන් කර්මාන්තය බිමටම වැටිලා.අපි මේ ගැන මුලින්ම කිව්වා.මොකද මොනඩෝන් ඉස්සා අල්ලා ගන්නේ අපේම මුහුදු සීමාවේ නිසා ඒ සතාට තියන වෛරස් රෝග වලට ඔරෙත්තු දෙන ප්‍රතිකාර කරන්න අපිට පුළුවන්.නමුත් වනාමී ඉස්සාගේ මව් රට වන්නේ දකුණු ඇමරිකාව.ඒ නිසා අපිට සිද්ධ වෙනවා දකුණු ඇමරිකාවට ගිහිං ප්‍රතිකාර කරන ක්‍රම අධ්‍යයනය කරන්න.වනාමී ඉස්සන් වගා කරන්න කියලා ඇතැම් ව්‍යාපාරිකයින්ට රජය විසින් ප්‍රදානයන් මෙන්ම ණය මුදල්ද ලබා දී තිබෙනවා.ඒ විධියට දුන්න ප්‍රදානයන් වලින් කිසිම පලක් වෙලා නෑ.ඒ වගේම තමයි ගත්තු ණය ගෙවා ගන්න බැරිව ඇතැම් ව්‍යාපාරිකයින් අහස පොළව ගැට ගහන්න කල්පනා කරනවා.මේ සියල්ලටම පළමු වන හේතුව තමයි ව්‍යාපාරය පිළිබදව දන්නා කියන දේ අහන්නේ නැතිව නොදන්නා අය ලබා දෙන උපදෙස් අනුව ඇතැම් දේශපාලකයින් කටයුතු කිරීම.ඇත්තම කිව්වොත් මේක ජාවාරමක්.තමන්ගේ ව්‍යාපාරය පමණක් රට තුළ පවත්වා ගෙන යන්න හිතා ගත්තු පිරිසක් කරපු ජාවාරමක ප්‍රතිඵල තමයි අද ඇස් පනා පිටම දකින්න තියෙන්නේ.එහෙම නැත්නම් මේ ආකාරයට ඉස්සන් ව්‍යාපාරය කඩා වැටෙන්න හේතුවක් නැහැනේ.කිසියම් අයෙක් කියන පුළුවන් අපේ රටේ මිලට වඩා අඩු මිලකට වෙනත් රටවල් වලින් ඉස්සන් මිලදී ගන්න හැකියාව තියනවා කියලා.ඔව් ඒ කථාව ඇත්ත වෙන්න පුළුවන්.නමුත් අපි අමතක කළ යුතු නැහැ පොකුණු වල හදන ඉස්සන්ට සංචාරක හෝටල් වලින් ඉහළ ඉල්ලුමක් තියන බව.මේ වෙන කොට අපේ රටට විශාල සංචාරකයින් පිරිසක් එනවා.නමුත් අවාසනාවකට ඒ සංචාරකයින්ට අලවි කරන්නවත් අපිට ඉස්සෝ හදා ගන්න පුළුවන් කමක් නෑ. ඒ තරමටද අපි වැටිලා ඉන්නේ” හෙතෙම කියා ගෙන ගියේය.
මේ අතර තවත් ජාවාරමක් සම්බන්ධ තොරතුරු හෙලි කර ගන්නට මෙම ලියුම්කරුට හැකි විය.වියට්නාමය වැනි රටවල් වලින් මෙරටට ඉස්සන් ගෙනවිත් මෙරට ඉස්සන් බව පවසා නැවත යුරෝපා රටවල් වලට යැවීම එම ජාවාරමයි.
1090 දශකයේදීම මේ ආකාරයෙන්ම ජාවාරමක් අප රටේ සිදුවිය.ඉස්සන් ව්‍යාපාරයට සම්බන්ධ ජනප්‍රිය චිත්‍රපටි නළුවෙකු ඇතුළු පිරිසක් විදෙස් රටවල් වලින් මෙරටට ඉස්සන් ගෙනවිත් නැවත යුරෝපා රටවල් වලට පැටවීම එම ජාවාරම විය.“මඩ ඉස්සාගේ රස” දැනගෙන සිටි යුරෝපා වැසියන් අපේ රටේ ඉස්සන් ප්‍රතික්ෂේප කළේය.සිද්ධ වුනේ මෙරට ඉස්සන් කර්මාන්තය කඩා වැටීමය.මන්ද සත්‍ය ලෙසම මෙරට වගා කරන ඉස්සන් පවා යුරෝපා රටවල් වලින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් එදා උදා වූ නිසාය.
එසේනම් නැවතත් එවැන්නක්ද අප රට තුළ සිදු වෙමින් පවතින්නේ.එක පැත්තකින් ඉස්සන් කර්මාන්තය කඩා වැටෙමින් තිබෙන විට තවත් පිරිසක් නැති බාධකයක් ඇති කරන්නට උත්සාහ කරමින් සිටිනවාද? එයද පැනයකි.
“ඔය කියන කතාව ඇත්ත.පසුගිය කාලයේ එක්තරා ව්‍යාපාරිකයින් පිරිසක් ඔය වැඩේ කරන්න පටන් ගත්තේ.එතන වයාපාරිකයෝ විතරක් නෙමෙයි, දේශපාකයොත් ඉන්නවා.ඒ හැම කෙනෙකුටම අවශ්‍ය වෙන්නේ සල්ලි විතරයි.හෙට අපේ රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ සාක්කුව පිරෙනවා නම්.අන්න ඒ නිසා තමයි මේ හෙනය අපිට වැදිලා තියෙන්නේ.ඉස්සන් කර්මාන්තය ආශ්‍රිතව අඩුම තරමින් ලක්ෂ 06 පමණ ජනතාවක් ජීවත් වෙනවා.තත්ත්වය මේ විධියට ගියොත් මිනිස්සු විතරක් නෙමෙයි රටම අනාථයි. ඒ නිසා තමයි අපි කියන්නේ කරන දෙයක් ඉක්මනින් කරන්න කියලා…..” තවත් ඉස්සන් ව්‍යාපාරිකයෙකු කියා සිටියේය.
විදෙස් රටවල් වලින් මෙරටට ගෙන එන ඉස්සන් නැවත අපනයනය සදහා සකස් කරන ඇතැම් ස්ථාන සදහා බලපත්‍ර ලබා ලබාගෙන නොමැති බව ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය කර ගැනීමට මෙම ලියුම්කරුට හැකි විය. ආහාරයට ගන්නා කුමන දෙයක් වුවත් ඇසුරුම් කරන්නේ නම් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගෙන් බලපත්‍රයක් ලබා ගැනීම කළ යුතුවම ඇත. නමුත් තමන් සතුව ඇති දේශපාලන සහ “මුල්‍ය සවිය අවියක්” කර ගත් පිරිසක් එකී බලපත්‍ර තුට්ටු දෙකකට මායිම් නොකරන බවක්ද පෙනෙන්නට ඇත.
විදෙස් රටවල් වලින් මෙරටට ඉස්සන් ගෙන්වා ප්‍රති අපනයනය කිරීමේදී ඇති විය හැකි තවත් අනතුරු දායක තත්ත්වයක් පෙන්වා දෙන්නට කැමැත්තෙමු. මෙරටට ගෙන්වන ඉස්සන් ප්‍රති අපනයනය සදහා සකස් කිරීමෙන් පසුව ඉතිරි වන අප ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන්නේද යන්න සොයා බලන කෙනෙක් නැත.මෙරටට ගෙන එන ඉස්සන් අතර කිසියම් අනතුරුදායක වෛරස් රෝගයක් තිබුණහොත්,බැහැර කරන අපද්‍රව්‍ය සමග එම වෛරස් කොටස්ද පරිසරයට එක් නොවන බවට කිසිවෙකුට පැවසිය නොහැකි වනවා ඇත.යම් ආකාරයකට එවන් සුළු වෛරස් කොටසක් අපේ ඉස්සන් පොකුණු වලට එකතු වුවහොත් සිදුවිය හැකි විනාශය අනුමාන කරන්නට වත් නොහැකිය.
ඉස්සන් ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය පිළිබදව මෙම ලියුම්කරු ජල ජීවී වගා සංවර්ධන අධිකාරයේ කිවුල් දිය අංශයේ පුත්තලම දිස්ත්‍රික්නි ලධාරීවරයාගෙන් විමසා සිටියේය.
“අපි ඉතිං කරන්නේ ඉහළින් එන නියෝග ක්‍රියාත්මක කරන එකනේ.රජය විසින් පනවලා තියන නියෝග උල්ලංඝනය කරන යම් අයෙකු සිටිනවා නම් එයාට විරුද්ධව නීති මගින් කටයුතු කරනවා. ඊට අමතරව ඉතිං අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා මේ කර්මාන්තය ගොඩ දාන්න ” හෙතෙම කියා සිටියේය.
ඉල්ලුමේ තරමට සැපයුමක් කළ නොහැකි තත්ත්වයක් ඇති නිසා යුරෝපා වෙළද පල තුළ අපිට තිබූ ස්ථානය මේ වන විට අහිමි වෙමින් පවතින බවක්ද දැන ගන්නට ඇත.විදේශ විනිමය හොයා ගන්න උදව් කරන්න කියන අය දැන් ඉතිං කළ යුතු වන්නේ කුමන ආකාරයෙන් හෝ ඉස්සන් කර්මාන්තය නැවත නගා සිටුවීමට කටයුත කිරීම නොවන්නේද?
සටහන- ජූඩ් සමන්ත
Leave a Reply