හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බදුල්ල දිස්ත්‍රික්කයේ එක් කොනකට වෙන්න පිහිටා තියෙන දුෂ්කරතා රැසකින් සමන්විත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්. මෙහි ජීවත්වන බොහෝ පිරිසකගේ ජීවනෝපාය බවට පත් වෙලා තිබෙන්නේ කෘෂිකර්මාන්තයයි. ඒ අතර වී, ගම්මිරිස්, කුරුදු, පොල්, එළවලු ඇතුලු කෘෂි භෝග රැසක් ඉතා සරුවට පලදරනවා. නමුත් ගම්මාන රැසක ඇති මාර්ග අපහසුතාවය, පානීය ජල අර්බුදය, විදුලිය නොමැතිකම, ප්‍රවාහන පහසුකම් නොමැතිවීම, වනඅලි තර්ජන ඇතුලු විවිධ දුෂ්කරතාවයන් නිසා මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවිත නම් සුන්දර නැහැ.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එවැනි අති දුෂ්කර ප්‍රදේශයක් ලෙසට වෙලන්විට කුමාරතැන්න ගම්මානය හැදින්වෙනවා. කුමාරතැන්න, වෙලන්විට, කලුවල සහ පතිනිගොල්ල ආදී ගම්මානවල පවුල් 150ක් පමණ මෙම ගම්මානයේ ජීවත් වෙනවා. ඉතා පැරණි ගම්මානයක් ලෙස ගැනෙන මෙම ගම්මානයේ වසර සිය ගණනකටත් වඩා ඉපැරණි ස්ථානද අදටත් දැකගත හැකියි.
දුටුගැමුණු එලාර යුද්ධයේදී දුටුගැමුණු රජතුමන්ගේ කඩුවේ මිට කැඩී ඇති අතර එම කඩුවට මිටක් දමා ඇත්තේ මෙම ගම්මානයේදී බවත් එම මිටට යොදාගෙන ඇත්තේ වෙලන් ගසක අත්තක් බවත් වෙලන් වලින් දැමූ මිට වෙලන්මිට නමින් පැරණි කාලයේ හදුන්වා ඇති බවත් එය මේ වන විට වෙලන්විට බවට පරිවර්ථනය වී ඇති බවට ජනප්‍රවාදයේ පවතින බවද ගම්වාසීන් පවසති.
මෙවන්වූ පැරණි මෙන්ම ශස්‍රීකත්වයෙන් ඉහළ ඇති මෙම ගම්මානයේ ජනතාවගේ ජීවන ගමනට නව මංපෙත් විවර වන්නේ 2021 වසරේ අප්‍රේල් මාසයේ එක් දිනකදීයි. ඒ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසදර නම්වූ වැඩසටහන මෙම වෙලන්විට කුමාරතැන්න ගම්මානයට ලැබීමත් සමගයි.
එම වැඩසටහනට අනුව කාපට් මාර්ගයක්, විදුලිය, ජලය පාසැලට නව ගොඩනැගිල්ලක්, ක්‍රීඩා පිට්ටනියක්, නව බස් රථ සේවයක්, දුරකථන කුලුණක්, අලි වැටක් ආදී මෙකී නොකී බොහෝ දේ ගමට ලැබී තිබුණි. එම සංවර්ධනයත් සමග ජනතාවට නැවුම් බලාපොරොත්තු රැසක් ඇතිවිය.පාසලේ විදුහල්පති, පාසැල් දරුවන් මෙන්ම ගම්වාසීන් තම ගමේ සංවර්ධනය පිළිබදව අදහස් පලකෙරුණේ තමන්ට කිසිදා නොලැබුණු දෙයක් ලැබුණු නිසා බව පැහැදිලිය. එමෙන්ම කිසිම දිනෙක තමන්ට මෙවන්වූ අත්දැකීමකට නැවත පත් වෙන්නට සිදුවේවි කියා නොසිතුණු නිසාද වන්නට පුලුවන.
https://sinhala.news.lk/fetures/item/47714-2022-03-14-08-03-03
නමුත් දවසින් දවස මාසෙන් මාසය වසරින් වසර ඉක්ම යත්ම මෙම වෙලන්විට කුමාරතැන්න ගම්මානය බොහෝ පිරිසකට අමතක වන්නට විය. එදා ගම සමග පිළිසදර වැඩ සටහනෙන් ගමට ලැබුණු බොහෝ දේ අද අහිමි වී ඇත . මේ පිළිබදව සොයා බලන්න අපි කුමාරතැන්න වෙලන්විට ගම්මානයට ගියේය. හල්දුම්මුල්ලෙන් කොස්ලන්ද මාර්ගයෙන් අක්කර 100 ගම්මානයට පිවිස එතැන් සිට වන අලින් ගැවසෙන මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 8ක පමණ දුරකින් ඇති මාර්ගයේ ගමන් ආරම්භ කලෙමු.
කැලෑබද ප්‍රදේශයට ඇතුල්වනවාත් එක්කම “මහත්තයෝ ඔන්න ඔතන තියෙන දේවාලයේ අතු කෑල්ලක් එල්ලන්න. අපි පිවිසෙන්නේ ඝන කෑලෑ ප්‍රදේශයකටයි. මේ අලිගහන කැලෑව. අපිට දෙවියන්ගේ පිහිටෙන් නැවත එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අත්ත එල්ලන්න” ඒ ගම්මානයේ මග පෙන්වන්නාගේ හඩයි.
ඉතින් අපි ඒ ආකාරයෙන්ම අතු කෑල්ලක් එල්ලා නැවතත් ගමන් ආරම්භ කලෙමු. එදා ගම සමග පිළිසදරෙන් සංවර්ධනයවූ විවිධ තැන් සොයා අප විමසීමක් කලෙමු.
මේ එහිදී ගම්වාසියෙක් වන ඩබ්.ඩී. සුධර්මා දමයන්ති මහත්මිය දැක්වූ අදහස්,
“අපේ ගම සංවර්ධනයත් එක්කම අපේ දෛනික කටයුතු වලට දායකත්වය සපයන ග්‍රාම නිළධාරීතුමා වගේම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණිය අපේ ගමට ආවා ගියා. නමුත් අද අපේ ගම් පැත්තට එන්නේ නැහැ. අපේ වැඩක් කර ගන්න ඕනි වුනාම කිලෝමීටර් 08ක් විතර දුර ගෙවාගෙන අක්කර 100ට යන්න ඕනි. හදිසියේවත් අපි යනකොට එම නිළධාරීන් හිටියේ නැත්නම් අපි නැවත හිස් අතින්ම එන්න ඕනි. ඒ වගේම තමයි පාසැල් අධ්‍යාපනය. අපේ ළමයින්ට සාමාන්‍ය පෙල සිට ඉදිරියට නිසි අධයාපනයක් නැහැ. ඒ සදහා අදාල ගුරුවරුන් අපිට නැහැ. කලාපෙන් ගිහින් ඇහුවම කියන්නේ ළමයි සංඛ්‍යාව මදි කියලා. ඉතින් එහෙම කියලා අපේ දරුවන්ට අපි කොහොමද උගන්න ගන්නේ”
ඉන්ද්‍රාණි විජයලතා මහත්මිය අදහස් දක්වමින්,
“අපේ ගමට එදා බස් රථයක් දුන්නා. ඒ දුන්නු බස් එක අද අපිට නැහැ. ඉතින් අපි හදිස්සියකට යන්න උනොත් එහෙම වාහනයකට දෙදාහ තුන්දාහ දීලා තමයි යන්න වෙන්නේ. ඉතින් අපිට එහෙම සල්ලි නැහැ. ජනාධිපතිතුමා ඇවිත් ගිය මාස දෙක තුනේ බස් එක වගේම හැම දෙයක්ම තිබුණා. දැන් අපිට ඒ කිසිම දෙයක් නැහැ. ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ටිකක් ගන්නවත් අපිට පහසුකමක් නැහැ. පාර තිබුනට වාහනයක් නැති නිසා අපි අද බොහොම අසරණ වෙලයි ඉන්නේ”
සරත් කුමාර ඒකනායක මහතා දැක්වූයේ මෙවන් අදහසක්,
“ගෝඨාභය මහත්තයා ගමට ආපු වෙලාවේ අපි ඉල්ලුවේ පාරයි ලයිට් ටිකයි හදලා දෙන්න කියලා. ඒ වගේම අපිට ඒ ටික එතුමන් ලබාදුන්නා. හැබැයි අද වන විට පාර කිසිදු නඩත්තුවක් නැහැ. තැනින් තැන කැඩිලා යනවා. ලයිට් එහෙම දවස් ගනන් නැතුව ඉන්නවා. ඒවා හදන්නේ දින ගනන් ගිහින්. ඒ වගේම තමයි දුරකථන සංඥා කුලුනක් හැදුවා. ඒකේ තිබුණු සියල්ලක්ම වාගේ ගලවගෙන ගියා. මේ ලගදි එහි ඉතුරුවෙලා තිබුණු ජෙනරේටරේ පවා අරන් ගියා. දැන් ඒ කුලුනේ තියෙන්නේ කණු ටික විතරයි. අපිට හදිසියකට කෝල් එකක්වත් ගන්න බැරි තත්වයක් අද උදාවෙලා. හදිසි පණිවිඩයක් කියන්න නම් හූවක් තියන්න ඕනි.අනිත් එක තමයි වගාවන්ට ගහන්න බෙහෙත් පොහොර ටිකක් ගන්න කිලෝ මීටර් 40ක් ගෙවාගෙන අපි වැල්ලවායට යන්න ඕනි. නමුත් අපේ ගමට හැදුනු පාර වැල්ලවාය නගරයට ආසන්නව ඉඹුල්ගොඩ හන්දියට කිලෝ මීටර් එක හමාරකින් සම්බන්ධ කරන්න පුලුවන්. එහෙම වුනොත් අපිට කිලෝ මීටර් 8ක් වැනි දුරකින් වැල්ලවාය නගරයට යන්න පුලුවන්. අපි ඒ කිලෝ මීටර් එකහමාර කාපට් කරලා ඉල්ලන්නේ නැහැ. වාහනයක් යන්න පුලුවන් විදිහට පාර හදලා දෙන්න. එහෙම වුනානම් අපේ ප්‍රශ්න වලට ගොඩාක් විසදුම් ලැබෙනවා”
එස්.එම්. චමිලා කුමාරි මහත්මිය,
“අපේ ගමට ප්‍රජාශාලාවක් නැහැ. ගමේ අය එකතුවෙලා පොඩි මඩුවක් ගහගෙන තමයි රැස්වීම් කරන්නේ. ඒ වගේම තමයි ගමට පන්සලක් නැහැ. ඉතින් දරුවන්ට සාර්ධර්ම ගුණධර්ම කියාදෙන්න විදිහක් නැහැ. දහම් පාසැලක් අපි පවත්වාගෙන යන්නේ කැලෑවැදුණු ගොඩනැගිල්ලක. කියන්න කනගාටුයි අද ගමට වෙලා තියෙන දේ දැක්කම. ප්‍රධාන පාර හැදුවට ගමේ අතුරු පාරවල් කිසිවක්ම හැදිලා නැහැ. බයිසිකලයක්වත් යන්න බැරි තරමට පාරවල් කැඩිලයි තියෙන්නේ. ඉතින් ගමේ තියෙන අඩුපාඩු ටික බලලා හදලා දෙන්න කියලයි ඉල්ලන්නේ.ඒ වගේම තමයි අපේ ගමේ නම ගහලා තැපැල් කන්තෝරුව තියෙන්නේ අංක්කර 100 කියන ස්ථානයේයි. අපේ ලියුම් එහෙම තියෙනවද කියලා බලන්න එතනට යන්න ඕනි. සමහරවිට ඉන්ටර්විව් වලට එහෙම එන ලියුම් දිනත් පහුවෙලා. ඒ වගේමයි වැඩිහිටි දීමනාව 1900ක් ගන්න 1000ක් වියදම් කරලා යන්න ඕනි. ඉතින් අපිට තැපැල් කන්තෝරුවක් නැතිකම නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුන දෙන්න සිදුවෙලා තියෙනවා”
ගම්මුන් පැවසූ සියලු තොරතුරුත් සමගින් ඒ ගැන අදාල බළධාරීන්ගෙනුත් අප විමසීමක් සිදු කලෙමු.
ගමේ ග්‍රාමසේවක මහතා ගමට නොයන හේතුව වගේම ඒ සදහා ගන්නා පියවර සම්බන්ධයෙන් අප බදුල්ල දිසාපති ප්‍රභාත් ශ්‍රී අබේගුණවර්ධන මහතාගෙන් විමසීමක් කලා,
“මේ පිළබදව මා සොයා බැලීමට කටයුතු කරනවා. වෙලන්විට කුමාරතැන්න ගම්මානයේ ග්‍රාමසේවක මහතාට කාර්යාලයක් නැතිනම් ඒ සදහා සුදුසු ස්ථානයක් සොයාදී සතියකට දිනයක් හෝ එම ගම්මානයට ගොස් සේවය සැපයීමට අදාලව කටයුතු සම්පාදනය කිරීමට මා ඉදිරියේදී කටයුතු කරනවා”
තැපැල් කන්තෝරුව නොමැතිවීම සම්බන්ධයෙන් ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පති ඉන්දික හතුරුසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසක්,
“උප තැපැල් කාර්යාලයක් පවත්වාගෙන යෑමේදී එහි ආදායම් තත්වය සැලකිල්ලට ගත යුතු වනවා. නමුත් ජනතාවට ඒ තුලින් අසාධාරණයක් වෙන්න දෙන්න බැහැ. ලිපි ප්‍රමාදය සිදු නොවන අයුරින් වැඩ කටයුතු හදන ක්‍රමවේදයක් දියත් කරන්න අදාල උපදෙස් ලබාදීමට මා තැපැල් අධිකාරීතුමාව දැනුවත් කරනවා. ඒ වගේමයි රාජ්‍ය නිළදාරීන් හැටියට ජනතාවගේ සේවය සිදු කරන්න අපි බැදී සිටිනවා. නමුත් බොහෝ ස්ථානවල ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඒවා සොයාබලා නිසි විසදුම් දීමට ඉදිරියේදී කටයුතු කරනවා”
වෙලන්විටට දැමූ බස් රථය අද ධාවනය නොවන්නේ මන්දැයි බණ්ඩාරවෙල ඩිපෝවේ ඩිපෝ කළමණාකාර ඩී.එම්. සුනිල් දිසානායක මහතාගෙන් අප විමසීමක් කලා,
“මේ ගමේ තිබුණු එකම ප්‍රශ්නය තමයි බස් රථයේ රියදුරු ලෙසින් ගමේම කෙනෙක් බදවා ගැනීම. මොකද රාත්‍රියට ගමේ ඉදලා උදේට බස් රථය ධාවනය වන ක්‍රමයක් තමයි ඔවැනි ගම්මාන සදහා අප ගන්නා ක්‍රමවේදය වන්නේ. ඉතින් ගම්මානයේ කෙනෙක් තමයි මෙම බස් රථයේ සේවය කලේ. නමුත් ඔහුට උඩහමුල්ල ඩිපෝවට මාරුවීමක් ලැබුණු නිසා තමයි බස් රථය ධාවනයවන එක නතර වුනේ. එහෙම නැතුව බස් රථය නැතිව නෙමෙයි. බස් රථය අදටත් ධාවනය කරන්න පුලුවන් අපිට එම ප්‍රදේශයෙන්ම රියදුරු මහතෙක් හා කොනදොස්තර මහතෙක් ලබා දෙනවා නම්”
මේ ගමේ ජනතාව වැඩි වශයෙන් නැහැ කියලා ආදායම් තත්වය මදි නිසා බස් රථය ඉවත් කලා කියලා චෝදනාවක් තියෙනවා නේදැයි අප විමසා සිටියා.
“නැහැ. එය වැරදියි. අපිට බස් රථය වාර දෙකක් වෙලන්විට කුමාරතැන්න ගමට දීලා තවත් ගමන්වාර කිහිපයක් වෙනත් පැති වලට දාලා අපිට ආදායම් හොයන්න පුලුවන්. එකම ප්‍රශ්නය රියදුරු සහ කොන්දොස්තරගේ ගැටලුවයි”
එක්තරා සමාගමක් විසින් ඉදිකර ඇති දුරකථන සංඥා කුලුන සම්බන්ධයෙන් විමසීමට අදාල සමාගමේ නියෝජිතයෙක් සම්බන්ධකරගැනීම උත්සහ ගත්තද එය සාර්ථක වූයේ නැහැ.
මෙම ගම්මානයේ විටින් විට සිදුවන විදුලිය බිදවැටීම් හා එය නැවත සැකසීමේ ප්‍රමාදය ගැන අප විදුලිබල මණ්ඩලයේ දියතලාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සිසිර හෙන්නායක මහතාගෙන් අප විමසීමක් කලා,
“ඔය කියන ගම්මානයේ රූස්ස ගස් තිබෙනවා. ධාරානිපාත වර්ෂා කාලයේදී එම ගස් කඩාවැටීම් ආදිය සිදුවීමෙන් විදුලිය බිද වැටීම් සිදුවන්නට පුලුවන්. මේ ගස්වල අවධානම් අතු ඉවත් කිරීමට යම් යම් නීති ගැටලු ඇතිවෙලා තියෙනවා. හැම ගහක්ම අපිට හිතුමතේට කපන්න බැහැ. ඒවාට නීති තියෙනවා. නමුත් කඩා වැටුණු ගසේ අත්ත ඉවත් කිරීම අපි සිදුකරනවා. අපි හැකි ඉක්මණින් බිද වැටුණු විදුලිය නැවත යථා තත්වයට පත් කරනවා. ඔය ගම්මානයට යන්න කිලෝ මීටර් 75ක් පමණ තිබෙනවා. ඒ ගමන යන්න යන කාලය පමණයි ප්‍රමාද වෙනවා නම් වෙන්නේ. අපිට දුරකථන ඇමතුම දෙන්න යම් ප්‍රමාදයක් වුනොත් ඇරෙන්න අපි කොයිම මොහොතකවත් විදුලිය නැවත දීම ප්‍රමාද කරන්නේ නැහැ. මම එය කියන්නේ වගකීමෙනුයි. ඒ වගේම තමයි යම් විදුලිය බිදවැටීමක් සිදුවුනොත් එය 1987 අංකයට දැනුම් දෙන්නත් පුලුවන්. ඒ වගේමයි අපගේ නිළධාරීන්ගේ අංක පවා අපි ගමේ අයට දීලයි තියෙන්නේ “
අඩුපාඩු රැසක් පවතින මෙම ගම්මානයේ ජනතාව බලාපොරොත්තුවන වැල්ලවායට සම්බන්ධ කරනා මාර්ගය සැකසීමට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ නම් එය ඉතා වැදගත් බවත් මේ වන විට වන අලි තර්ජන එතරම් දුරට ගම්මානයට නොමැති බවත් පවසන ගම්වාසීන් අදාළ බළදාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ලකුණු දමා ගැනීමට පමණක්ම සිදු කල කාර්යන් ගම සමග පිළිසදර නාටකය දැන් අවසන් බැවින් හැකි ඉක්මණින් ගම්මානයේ අඩුපාඩු සම්බන්ධව සොයාබලා කඩිනම් පියවරක් ගන්නා ලෙසයි.
සටහන – ජයලත් දිසානායක
Leave a Reply