ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දින දක්වා කාල සීමාව තුළ ගල් අඟුරු ආනයනය සහ විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් සිදු වී ඇති බව කියන අක්‍රමිකතා හා නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.
1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති අතර, එහි සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කටයුතු කරනු ඇති.
කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතා පත් කර ඇති අතර, ලේකම් වශයෙන් පී.වී. බන්දුලසේන මහතා කටයුතු කරනු ලබනවා.
මෙම කොමිෂන් සභාවට පැවරී ඇති ප්‍රධාන කාර්යයන් අතර, ගල් අඟුරු ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදු වී ඇත්දැයි සොයා බැලීම, එවැනි ක්‍රියා හේතුවෙන් රජයට සිදු වී ඇති මූල්‍ය හානි තක්සේරු කිරීම, සහ ආනයනය කරන ලද ගල් අඟුරු නිසි ප්‍රමිතියෙන් යුතුද යන්න පරීක්ෂා කිරීම ඇතුළත් වනවා.
තවද ගල් අඟුරු භාවිතයෙන් විදුලි ජනනය කිරීමේදී අපේක්ෂිත ඵලදායීතාවය ලැබී ඇත්දැයි විමසා බැලීමත්, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතයෙන් සිදුවී ඇති හැකි නෛතික හෝ මූල්‍යමය අක්‍රමිකතා හඳුනා ගැනීමත් කොමිෂන් සභාවේ වගකීම් වනවා.
මෙම ක්‍රියාවලියේදී කොන්දේසි කඩ කිරීම් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීමත්, ඒ සඳහා වගකිව යුතු දේශපාලන හා රාජ්‍ය නිලධාරීන්, සමාගම් නිලධාරීන් සහ සැපයුම්කරුවන් හඳුනා ගැනීමත්, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නිර්දේශ කිරීමත් කොමිෂන් සභාවට පැවරී තිබෙනවා.
තවද, අනාගතයේදී මෙවැනි අකටයුතුකම් සිදුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමද මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයක් ලෙස සඳහන් වනවා.







Leave a Reply