බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති “ඔර්නබ්” (Ornab) ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ‘ඉතා ප්රබල සුළි කුණාටුවක්’ බවට පත්ව ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද (27) අලුයම 02.30 වන විට මෙම සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් (උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ) කේන්ද්රගතව පැවතුනා.
මෙය අද සවස 05.30 දක්වා බටහිරට බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින් හෙට (28) පෙරවරු 11.30 වන විට ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
දිවයිනේ කාලගුණ තත්ත්වය
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවද, පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා වැටී තිබීම හේතුවෙන් නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වය අද (27) දිනයේදී තවදුරටත් පවතිනු ඇත.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. නැගෙනහිර පළාතේ පස්වරු 1.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් මෙන්ම ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවල පැයට කිලෝමීටර් 40-50 දක්වා වන තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ධීවර සහ නාවික ප්රජාවට දැඩි අවවාද
උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80-140 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර් 3.0 – 4.0 ක් පමණ උසට ඉහළ ගොස් මුහුද ඉතා රළු විය හැක.
එබැවින් එම මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට එම මුහුදු ප්රදේශවල රැදී සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව දැඩි ලෙස උපදෙස් දෙනවා.







Leave a Reply