ලංකාවේ යාචකයින් යනු කලින් කලට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට එක කණ්ඩායමකි. ප්‍රධාන නගර හරහා සෑම වීදි කොනකම, කාර්යබහුල වෙළදපලවල් වල, මාර්ග සංඥා පද්ධති අසල ඔබෙන් මුදල් අයදින යාචකයින් මේ වන වින ඉතාම සුලබ දර්ශනයකි. යාචක මාෆියාව ගැන , ඔවුන්ගේ දිනක ආදායම පිළිබද වාර්තා , යාචකයින් පුනරුත්ථාපනයට පියවර ගැනීම මෙන්ම වීදි යාචකයින් ඝාතනය කිරීමේ රැල්ලක් ද පසුගිය කාලයේ බරපතල ලෙස පුවත් මැවූ කාරණා වේ .
ඔය අතරේ 2014 දී හැටකට අධික යාචකයන් ප්‍රමාණයක් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමත් සමග සමාජ සේවා අමත්‍යංශය සදහන් කලේ යාචකයින්ට නව ජීවන රටාවක් ලබා දීමට තම අමාත්‍යංශයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ අවශ්‍යතාවය කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවයි. අනතුරුව 2018 දී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසා සිටියේ පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් දිනකට රු.1500ක් උපයාගත් හැකි ලෙස රැකියා ලබා දී වීදි යාචකයින්ව කොළඹ නගරයෙන් ඉවර කරන බවයි.
පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලබන යාචකයන් අධිකරණය මාර්ගයෙන් රිදීගම පුනුරුත්තාපන මධ්‍යස්ථානයට බාරදීමට නියමිත කළේය . එහිදී රිදීගම පුනරුත්තාපන මධ්‍යස්ථානය උපරිම සංඛ්‍යාවට පැමිණ සිටින බැවින් අලුත් යාචකයින් යැවීමට රුපියල් කොටි 08ක් වය කර සියළු පහසුකම් සහිත ස්ථානයක් සූදානම් කර තිබෙන බව එවකට ව්‍යාපෘති අධ්‍යක්ෂක රන්ජිත් මිගස්වත්ත පවසා සිටියේය.
කෙසේ හෝ දෛනිකව රු.1500 ලබා දෙන රැකියාවකට යොමු කිරීම ගැන අදහස් දැක්වූ යාචකයන් බහුතරයක් පැවසුවේ ආණ්ඩුව ලබාදෙන දීමනා තමන්ට ප්‍රමාණවත් නොවන අතර විශේෂයෙන්ම රුපියල් 1,000ත් – 2,000ත් අතර ආදායමක් තමන් දිනකට ලබන බවයි ඔවුන් පවසා තිබුනේ .
මහජනතාවට යාචකයින්ගෙන් සිදුවන හිරිහැර, මින් පැන නගින සමාජීය ගැටළු සහ නගර අලංකරණයට ඇතිව තිබෙන ගැටලු මත පදනම්ව සිඟමන් තහනම් කිරීමට මින් පෙර අවස්ථා ගණනාවකදී ද මෙවැනි තහනම් ක්‍රියාත්මක වුවත් දැනටත් රටපුරා සිටින යාචක ප්‍රමාණයේ වැඩිවීමක් මිස අඩුවීමක් නම් දක්නට ලැබෙන්නේ නැත .
ඔය අතර පසුගිය දවසක යාචකයින් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මයුර සමරකෝන් සහ එම අධ්‍යනාංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් කළ පරීක්ෂණයක දී සොයා ගත් තොරතුරු කාරණා කීපයක් අනාවරණය කළේය . එහිදී කතරගම දී යාචක සමාජය සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණයක් මහාචාර්යවරයා විස්තර කළේ මෙලෙසින් ය.
“ශ්‍රී ලංකාවේ යාචකයන් වර්ග කීපයන් හඳුනාගන්න පුළුවන්. දීර්ඝකාලීනව රෝගාබාධවලට ලක් වෙලා පවුල් වලින් අතහැර දාපු අය, රැකවරණයක් නොමැති වයස්ගත පුද්ගලයන්, ආබාධිත පුද්ගලයන් සිටිනවා මෙවැනි පුද්ගලයන්ව යොදාගෙන කරනු ලබන යාචක ව්‍යාපාරයක් තමයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ තියෙන්නෙ. මේ යාචකයන්ව රැකබලාගන්න අදාල ක්‍රමවේදයන් නැති නිසා, විවිධ පුද්ගලයන් මේ අයව රැකබලාගන්නවා කියලා පෙන්වමින් ඔවුන්ව යාචක වෘත්තියේ යෙදවීමක් තමයි සිදුවන්නේ. මේ ව්‍යාපාරවලට හිමි කරුවෙක් ඉන්නවා. ඔහු මේ මුදල් ලබාගෙන යාචකයන්ට යම් කොමිස් මුදලක් ලබා දෙනවා. මේ තත්ත්වය තමයි වර්තමානයේ යාචක සමාජයේ තිබෙන පොදු සංස්කෘතිය වෙන්නේ.
කතරගම යාචක සමාජය ඉතා සංවිධානාත්මක බව අපට හොඳින් නිරීක්ෂණය කරන්න හැකි වුණා. උදේම යාචකයන්ව මිනිස්සු ගැවසෙන තැන් බලලා ස්ථානගත කරනවා. ඊට පස්සෙ ඔවුන්ට අවශ්‍ය ආහාරපාන වරින්වර ලබාදෙනවා. යාචකයන්ට දානයක් දෙනවා වගේ තමයි කෑම බෙදන්නේ. නොදන්නා කෙනෙක් දැක්කොත් කවුරු හරි දානයක් දෙනවා කියලා හිතන්නෙ. නමුත් අපි සති ගාණක් නිරික්ෂණය කළ නිසා මේ තත්ත්වය හඳුනාගන්න හැකිවුණා. දවස අවසානයේ දී මේ අයව එකතු කරගෙන යනවා.”
සහභාගීත්ව පරීක්ෂණයේ දී එලෙස වෙස් වලාගත් සිසුන්ට යාචකයන්ගේ යම් යම් බලපෑම් සිදු වූ බව පැවසූ මහාචාර්යවරයා සදහන් කලේ ආබාධිතයෙකු විදිහට වෙස්වලාගෙන හිටිය ශිෂ්‍යයා පැය දෙකක පමණ කාලයක දී රුපියල් හාරදහසකට වැඩි මුදලක් ඉපැයූ බවයි.
මහාචාර්යවරයාගේ මේ අනාවරණයත් සමග පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාන හා දත්ත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සදහන් කරනුයේ රට පුරා විවිධ ස්ථානයන්හි සිඟමන් යදින බාල වයස්කාර වීදි දරුවන්ගේ සංඛ්‍යාව තිස් දහසක් පමණ වන බවයි. විවිධ ප්‍රදේශ හරහා සිදු කල පර්යේෂණ හා අධ්‍යයන කටයුතු මගින් තහවුරු කරන මෙම දත්තයන් ගැන අදහස් පළ කළ මහාචාර්යවරයා සදහන් කලේ,
“මේක ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක්. ඒ වගේම අනාගතයට බලපාන ප්‍රශ්නයක්. මේ දරුවන් පිළිබඳ රජයට නිවැරදි දත්ත පද්ධතියක් නෑ. නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමේ වගකීම රජයට තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු නොකළහොත් වීදි දරුවන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩිවෙලා තවදුරටත් මත්ද්‍රව්‍ය භාවිතය, අලෙවිය, සොරකම්, වංචා, ලිංගික අපචාර වැනි අපරාධ විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන්” යනුවෙනි.
දෙමව්පියන් හෝ භාරකරයින් මෙම කුඩා දරුවන් විදී යාචකයින් ලෙස යොදවා මුදල් උපයන අතර ඉන් බහුතරයක් පාසල් නොයන වයස අවුරුදු 04ත් 15ත් අතරේ වයසේ පසුවන්නන්ය.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ,
“මේ ඇතැම් දරුවන් පොලිසිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් ප්‍රධාන ගැටලුව වෙන්නේ මේ බාල වයස්කාර දරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තැබීම සඳහා නිසියාකාර ආරක්ෂිත ස්ථානයක් නොමැති වීමයි. යාචකයන් අත්අඩංගුවට ගෙන රඳවා තබන සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් රිදීගම කඳවුර මේ වන විට පිරී ඉතිරී ගොස් තිබෙනවා. මේ තත්ත්වය අනුව වීදි දරුවන් අධිකරණයට දාලා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පලක් වෙන්නේ නෑ. මේ ළමයි දීර්ඝ කාලීන පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ යුතුයි. ඒ සඳහා ඉඩකඩ සහිත සුදුසු ස්ථානයක් නෑ. මෙහෙයුමක් දියත් කරලා රට පුරා සිඟමනේ යෙදෙන බාල වයස්කාර දරුවන් පොලිසිය භාරයට ගන්න පුළුවන්. නමුත් එහෙම අරගෙන පුනරුත්ථාපනය කිරීම සඳහා සුදුසු ස්ථානයක් තිබෙනවා නම් මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්න සූදානම්. මේ අය වැඩිහිටි රැඳවියන් සිටින කඳවුරක කිසිසේත්ම රඳවා තබන්න බෑ. වගකිවයුතු ආයතන සියල්ල එක්ව මේ සම්බන්ධයෙන් විසඳුමකට පැමිණීම වඩා යහපත්. කෙසේ වුවද මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවධානය යොමු කරනවා.” යනුවෙනි .
වසර ගණනක් පුරා කාලෙන් කාලෙට වීදි යාචකයින් වෙනුවෙන් ගන්නවා යැයි කියූ ක්‍රියාමාර්ග කට වචනෙට පමණක් සීමා වන විට රටේ වීදි යාචක ප්‍රමාණය ඉහල ගොස් ඇත . යාචක වෙළදාමක් නිර්මාණය වී ඇත . දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් වුවත් දරුවන් සිගමනේ යොදවා ඇත. දරුවන් කෲරත්වයට ලක් කර ඇත . බොහොමයක් දරුවන්ට මත්ද්‍රව්‍ය ශරීර ගත කර සිගමනේ යොදවන බව මින් පෙර අනාවරණය වූ කාරණාවකි. නමුත් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතියක් නැත . දරුවන් අත් අඩංගුවට ගෙන යොමු කිරීමට තැනක් නැත . ශ්‍රම බලකායට ඔවුන්ව දායක කර ගැනීමට ක්‍රියාවලියක් සකස් කර නැත . නමුත් රජය, අදාල ආයතන නිහඩය. යාචකයින් වෙනුවෙන් රිදීගම පුනරුත්ථාපන හා සමාජ සවිබල ගැන්වීමේ කඳවුරක් නිර්මාණය කලද 450ක් රදවා තැබිය හැකි ස්ථානයේ 518ක් රදවා තිබෙන බව සමාජ සේවා දෙපාර්තමේන්තුවේ යාචකයන් සම්බන්ධ සංගණන නිලධාරී චම්පා ජානකි පවසයි. උපරිම ධාරිතාවය ඉක්මවූ රිදීගම සැබවින්ම අපේක්ෂිත අරමුණ ඉටු කරන්නේද? මේ ආකාරයට සිගමනේ යෙදෙන බාලවයස්කාර වීදි දරුවන් 30,000ත් සමාජයේ වටිනා කොටසක් බවත් , ඔවුන්ගේ ජිවිතයට වෘත්තීය පුහුණුවක් ලබා නොදී අත්හැරීම තුලින් ඔවුන් අනීතික දේවල් වලය යොමු වීම නිසා ඇති වන සමාජීය අර්බුදය ගැන බලධාරීන්ගේ අවධානය මන්දගාමී වීම අතිශය කණගාටුවට කරුණකි.
සටහන – මිහිසරණි ප්‍රනාන්දු
Leave a Reply