Loading...

දේශපාලන තීන්දු නිසා පව් ගෙවන “පිංකට්ටිය” පාලම

බත්තුළුඔය – උඩප්පුව මාර්ගයේ ඇති පිංකට්ටිය පාලමේ ඉදිකිරීම් කටයුතු අතර මග නතර වී තිබීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

හැමිල්ටන් ඇල හෙවත් පුත්තලම – කොළඹ ඇල මාර්ගය හරහා තිබූ පැරණි පිංකට්ටිය පාලම අබලන් වීම නිසා නව පාලම ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2020 ජූලි මස 20 වෙනි දිනය.කුවේට් ණය ආධාර යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සදහා රුපියල් 188,097,231.60 ක මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර තිබුණි.

ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම නිසා පැරණි පාලම ගලවා ඉවත් කර,ගමනා ගමන කටයුතු පහසු වීම සදහා තාවකාලික පාලමක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ස්ථාපනය කරන ලදි.කෙසේ වෙතත් මේ වන විට පාලමේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති අතර,භාවිතයට ගණු ලබන්නේ තාවකාලික පාලමයි.එම පාලමද ක්‍රමයෙන් අබලන් වෙමින් පවතින නිසා ඉදිරියේදී දැඩි ගමනා ගමන දුෂ්කරතාවයකට මුහුණ දීමට තමන්ට සිදු වනු ඇතැයි උඩප්පුව ප්‍රදේශයේ ජනතාව සදහන් කරයි.

පාලම ඉදිකිරීම සදහා ගෙනවිත් ඇති කළු ගල්,කොන්ක්‍රීට් කණු ඇතුළු බොහෝ දෑ ඒ අවට ගොඩ ගසා ඇති බවක්ද දක්නට ඇත.පාලමේ ඉදිකිරීම් කටයුතු කළ සේවකයින්ගේ පහසුව වෙනුවෙන් තාවකාලිකව ඉදිකර තිබූ ගොඩනැගිළිද මේ වන විට ගලවා ඉවත් කර ඇත.එම ස්ථානයට සපයා තිබූ “තෙකලා”විදුලිය පහසුකම්ද ඉවත් කර ඇති බවක් දක්නට ඇත.

උඩප්පුව සහ ඒ අවට ඇති පිංකට්ටිය,මුතුපන්තිය ඇතුළු ගම්මාන රැසක ජනතාවගේ එක් ජීවෝනෝපාය ක්‍රමයක් වී ඇත්තේ ඉස්සන් කර්මාන්තයයි. ප්‍රදේශවාසීන් තම ඉස්සන් කර්මාන්තයට අවශ්‍ය කරන ජලය ලබා ගැනීම සිදු කර ඇත්තේද හැමිල්ටන් ඇලෙනි.නමුත් පාලමේ ඉදිකිරීම් අතර මග නතර වී තිබීම නිසා හැමිලටන් ඇල ඔස්සේ අතීතයේදී මෙන් ක්‍රමාණුකූලව ජලය ගලා යාමක් සිදු නොවේ.මෙම තත්ත්වය නිසා තම කර්මාන්තය කරගෙන යාමට නොහැකි බවද ඉස්සන් ව්‍යාපාරිකයින් සදහන් කරයි.

උඩප්පුව යනු ධීවර සහ කෘෂිකාර්මික ප්‍රදේශයකි.එමෙන්ම විශාල ජනතාවක් ජීවත් වන ගම්මානයකි. මහා විද්‍යාල 02 ක්,රෝහලක්, පොලීසියක්, නාවුක හමුදා කදවුරක් ඇතුළු රජයේ ආයතනද,රාජ්‍ය සහ පුද්ගලික බැංකු කීපයක්ද එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වේ.ඒ සියළුම දෙනා හලාවත සිට උඩප්පුවට ගමන් කරන්නේ මෙම පාලම මතිනි.

පිංකට්ටිය පාලමේ ඉදිකිරීම් කටයුතු අතර මග නතර වී ඇත්තේ කුමන හේතුවක නිසාද යන්න තොරතුරු දැන ගැනීමේ පනත අනුව මෙම ලියුම්කරු විසින් හලාවත පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු කාර්යාලයේ “තොරතුරු නිලධාරීවරයාට”  2023 මැයි මස 13 වෙනිදා අයදුම්පත්‍රයක් යොමු කරන ලදි.එම අයදුම්පත්‍රයට පිළිතුරක් එවා ඇති මාර්ග සංවර්ධන අධිකාරියේ හලාවත දිස්ත්‍රික් කාර්යාලයේ ඉංජිනේරුවරයා සදහන් කර ඇත්තේ අදාල අයදුම් පත්‍රය ප්‍රධාන කාර්යාලයට යොමු කළ බවකි.නමුත් පිළිතුරු නොලැබීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියේ “නම් කළ නිලධාරීවරයා” වෙත 2023 ජූලි මස 13 වෙනිදා අයදුම්පතක් යොමු කිරීමට මෙම ලියුම්කරු කටයුතු කරන ලදි.

මාර්ග සංවර්ධන අධිකාරියේ “නම් කළ නිලධාරීවරයා” වෙත යොමු කරන ලද අයදුම්පතට අනුව 2023 අගෝස්තු මස 03 වෙනිදා පිළිතුරු ලබා දීමට ඔවුන් කටයුතු කර ඇත.”යොමු අංකයක්” හෝ නොමැතිව පිළිතුරු ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත්තේ වගකීම් විරහිත ආකාරයකින් බවක්ද දක්නට ඇත.

පිංකට්ටිය පාලමේ ඉදිකිරීම් කටයුතු වලින් 94.9% ක් මේ වන විට අවසන් කර ඇති බව එම පිළිතුරේ සදහන් කර ඇත.තවද,ඉදිකිරීම් කටයුතු සදහා කොන්ත්‍රාත්කරුට මේ වන විට රුපියල් 140,260,218.72 ක මුදලක් ගෙවා ඇති බවත්,තවත් රුපියල් 7,027,953.59 මුදලක් ගෙවීමට ඇති බවද එම පිළිතුරු පත්‍රයේ සදහන් වේ.

ශ්‍රී ලංකා රජය විසින් ණය හිමියන් වෙත ණය ආපසු ගෙවීම නතර කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙන් කුවේට් අරමුදල ඉතිරි මුදල් නිදහස් කර නොමැති බවද එම පිළිතුරු පත්‍රයේ වැඩිදුරටත් සදහන් වේ.තවද මේ සම්බන්ධයෙන් මහා මාර්ග අමාත්‍යාංශය හරහා මුදල් අමාත්‍යාංශයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට දැණුවත් කිරීමටද කටයුතු කර ඇති බවත්,ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අරමුදල් නිදහස් කරන ලෙස කුවේට් අරමුදලින් ඉල්ලා ඇතත් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද මාර්ග සංවර්ධන අධිකාරියේ  නම් කළ නිලධාරීවරයා විසින් එවා ඇති පිළිතුරු පත්‍රයේ සදහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක සහ වයඹ හඩ පරිසර සංවිධානයේ කැදවුම්කරු අජිත් ගිහාන් මහතා මෙසේ පැවසීය.”පිකට්ටිය පාලම කියන්නේ විශාල පිරිසක් එහා – මෙහා ගමන් කරන ස්ථානයක්.පරණ පාලම ගලවා ඉවත් කර නව පාලමක් ඉදිකිරීම් ආරම්භ කළත් මේ වන විට එයත් අතර මග නතර වී තිබෙනවා.නව පාලමේ වැඩ කටයුතු අවසන් වන තුරු ඉදි කර ඇති තාවකාලික පාලමද මේ වන විට අබලන් වෙමින් පවතින්නේ.යම් ආකාරයකට තාවකාලික පාලම කඩා වැටුනොත් හෝ අබලන් වුවහොත් බත්තුළුඔය සිට උඩප්පුව දක්වා ගමන් කිරීමට ඇති එකම මාර්ගයද නැති වී යනවා.එසේ වුවහොත් උඩප්පුව ජනතාවට නගරයට එන්න හැකියාවක් නෑ.එවන් තත්ත්වයක් ඇති වුවහොත් උඩප්පුවේ සිට පිට පළාත් වලට මාළු කරවල,ඉස්සන් මෙන්ම එළවළුද ප්‍රවාහනය කිරීමට නොහැකි වනවා.මේ නිසා අපි ඉල්ලා සිටින්නේ කඩිනමින් නව පාලමේ කටයුතු අවසන් කර දෙන ලෙසයි.”

සටහන – ජූඩ් සමන්ත

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *