Loading...

BREAKING – ඇමති නලින්ද සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව තැපැල් වර්ජනය අවසන් වෙයි

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය මේ මොහොතේ සිට අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි සම කැඳවුම්කරු වන චින්තක බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක වුණු මෙම අඛණ්ඩ වැඩවර්ජනය අද (24) අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ඇති කරගනු ලැබූ එකඟතා මත මෙලෙස අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඉදිරිපත් කළ මුලික කරුණු 19න් 17 මසක් ඇතුළත විසඳුම් සැලසුම් කිරීම සඳහා අමාත්‍යවරයා විසින් තැපැල්පතිට නියෝග ලබාදුන් බවද ඔහු පැවසුවා.

තවද අනෙක් කරුණු දෙක වන ඇඟිලි සලකුණු සහ අතිකාල දීමනා සමබන්ධයෙන් වූ ඉල්ලීමට කිසිඳු වෙනසක් සිදු කිරීමට ඇමතිවරයා කැමැත්ත පළ නොකළ බවත් ඒ සම්බන්ධව පවතින නීතිය අනුව ගත හැකි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේ දී සාකච්ඡා කරන බවත් ඔවුන් මෙහිදී සඳහන් කර සිටියා.

මෙම තීරණවලට එළැඹ ඇත්තේ වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද (24) පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුවයි.

විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වනදා සිට දින 7ක් පුරා මෙම වර්ජනය ක්‍රියාත්මක කළා.

වර්ජනය ආරම්භ වීම සමඟ දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වූ අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවට පත්වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *