හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් හා තවත් අටදෙනකුගෙන් පුද්ගලයෙක් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා යවා තිබෙනවා.
මෙලෙස එන්තරවාසිය යොමු කර ඇත්තේ රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු භාවිතා කරන අක්ෂි බිංදු ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලික පෙනී අහිමි වූ රෝගියෙකු විසින්.
ඔහුගේ ඇස්වලට සිදුවූ හානිය සහ ඔහුගේ ජිවිතයට ඇති විය හැකි බවද එම එන්තරවාසියේ සඳහන්ව තිබෙනවා.
අදාළ පුද්ගලයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වන්දි මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අනුව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ජනක චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්.ඩී.ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ යක්කල පෞද්ගලික සමාගමට එරෙහිව මෙලෙස එන්තරවාසි යවා ඇති බව වාර්තා වනවා.
මෙම පුද්ගලයා 2023 අප්‍රේල් මස 05 වනදා දින නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහායි.
එම ශල්‍යකර්මයෙන් පසු අක්ෂි බිංදු ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ ඇසට යොදා ඇති අතර 2023 අප්‍රේල් මස 19 වනදා දින හෝ ඊට ආසන්න දිනකදී කඳුළු ගැලීම, ඇසේ අපහසුතා, වේදනාව සහ හිසරදය ඇති වූ බවද ඔහු සිය එන්නතරවාසියේ සඳහන් කර තිබෙනවා.
එම පුද්ගලයා එන්තරවාසියේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඉන්පසු ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩු වූ බවත් පරීක්ෂණවලට අනුකූල නොවීම හේතුවෙන් එම අක්ෂි බින්දු ප්‍රමිතියෙන් තොර බවත් එම ඖෂධය භාවිත කළ රෝගීන්ට එන්ඩොෆ්තැනයිටිස් රෝගය වැළඳී ඇති බවත්ය.
Leave a Reply