අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රජය සලකා බලන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි අවධානය යොමු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ දින සිට අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහා නියමිත විශ්‍රාම වයස් සීමාවන් අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවයි.
එවැනි සංශෝධනයක් සිදු කිරීම මගින් නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ පිළිබඳ මහජන විශ්වාසය පිළිබඳ ප්‍රශ්න මතුවිය හැකි බව ද නීතිඥ සංගමය අවධාරණය කරනවා.
2020 වසරේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව දැනටමත් ඉහළ නංවා ඇති බැවින්, විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා සැබෑ අවශ්‍යතාවක් නොපවතින බව ද එම ලිපියේ සඳහන්.
දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස මහජනතාව විසින් සැලකීමට ඉඩ ඇති බවත්, එය අනාගතයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරමුණුගත සංශෝධන සඳහා යොදාගැනීමේ භයානක පූර්වාදර්ශයක් බවට පත්විය හැකි බවත් නීතිඥ සංගමය පෙන්වා දෙනවා.
ඒ අනුව, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා යෝජිත කිසිදු ව්‍යවස්ථාමය සංශෝධනයක් ඉදිරියට නොගෙන යන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.








Leave a Reply