Loading...

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගයක්

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන විරෝධතාවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශේෂ ආඥාවක් නිකුත් කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති අතර, විරෝධතාවට අඛණ්ඩව එක්ව සිටින පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාට මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්ට සහ විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් වෙත මෙම නියෝගය අදාළ වන බව සඳහන්.

අදාළ අධිකරණ නියෝගය මඟින් විහාරමහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අසල පරිශ්‍රය, ඇවිදින මංතීරු මෙන්ම එෆ්.ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්‍රීන් පාත් සහ මල් පාර ඇතුළු ප්‍රධාන මාර්ග අවහිර කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ. එමෙන්ම, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට සහ විහාරමහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අවට පරිශ්‍රයේ අඛණ්ඩව රැඳී සිටීමෙන් වළකින ලෙසත්, පොදු හා පෞද්ගලික දේපළවලට කිසිදු හානියක් සිදු නොකරන ලෙසත් අධිකරණය විසින් තහනම් නියෝගයක් පනවා ඇත.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය යටතේ මෙම අධිකරණ ආඥාව නිකුත් කර ඇති අතර, එහි 106(3) වගන්තිය ප්‍රකාරව අදාළ නියෝග සෘජුවම ක්‍රියාත්මක කිරීමට පොලීසියට සම්පූර්ණ බලය හිමිවේ. මෙම අධිකරණ නියෝගය කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල වරදක් බව ද අධිකරණය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *