Loading...

සජිත්ගේ ආරක්ෂාව වැඩි කරන්න – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කථානායකගෙන් ඉල්ලයි

විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන මෙන් විපක්ෂ නායකවරයාගේ නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී ඉල්ලීමක් කර තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ කථානායක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පසුගිය 12 වනදා කැඳවා මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි තර්ජනයක් ගැන තමාට වාර්තා වී නොමැති බව පොලිස්පතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ සාකච්ඡාවට එක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දී ඇත්තේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදී ඇතැමුන් ද එදා මෙවැනි ප්‍රකාශ සිදුකළ බවයි.

මෙම තර්ජනය ගැන දැන ගැනීමෙන් පසුව විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාට ලිපි කිහිපයක් පසුගිය කාලයේ දී යොමු කර තිබුණද, ඒවාට මේ දක්වා පිළිතුරක් ලැබී නොමැති බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කර තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් මෙහිදී පවසා ඇත්තේ ඉන්දියාවේ ගුජරාට් හිදී අත්අඩංගුවට ගත් IS ත්‍රස්තයන් පිරිසක් විපක්ෂ නායකවරයාට ඇති මෙම තර්ජනය ගැන අනාවරණය කර තිබු බවයි.

ඒ අනුව එම තර්ජනය සම්බන්ධයෙන් සොයා බලා විපක්ෂ නායකවරයාට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙස අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *