Loading...

ජනතා පීඩනය අඩුකිරීමට ආණ්ඩුව ක්‍රියාත්මක වියයුතුයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා වන සමාජ සංවාදය ව්‍යාපෘතිය හරහා සේවකයන්ට සහ ප්‍රජාවන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමට මෙන්ම තම ජීවිතවලට බලපාන තීරණ හැඩගැස්වීමට දායක වීමට අවස්ථා හිමි විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කරන්නේ දකුණු ආසියාවේ රාජ්‍ය අංශයේ සංවාදය සඳහා වන පළමු ජාතික රාමුව ස්ථාපිත කරමින්, රාජ්‍ය සේවය තුළ සමාජ සංවාදය පිළිබඳ ප්‍රකාශනයක් සම්මත කර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් මතු වූ පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය අතරතුර ඉහළ ගිය බදු සහ භාණ්ඩ මිල ගණන්, ක්‍රය ශක්තිය පහත වැටීම සහ අඛණ්ඩව පැවති දරිද්‍රතාව හේතුවෙන් පවුල් ඒකක වෙත එල්ල වූ පීඩනය තවදුරටත් පවතින බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

සංවාදය ඔස්සේ ගැටලුවලට විසඳුම් සෙවීමටත්, ආරවුල් උත්සන්න වීම වැළැක්වීමටත්, වඩාත් සර්ව-සහභාගී ආර්ථික පුනර්ජීවනයකට සහාය වීමටත් මෙම ව්‍යාපෘතිය මඟින් රජය, සේවායෝජකයන්, සේවකයන් සහ ප්‍රජාව එකට එක් කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

ගැටලු දුරදිග ගොස් බෙදීම් බවට පත්වීමට පෙර ඒවා විසඳා ගැනීම සඳහා ජනතාව එකට එක් කරමින් සංවාදයක් ඇති කළ යුතු බවත්, වගකීම වන්නේ ජනතාවට සවන් දීමෙන් නොනැවතී ඔවුන් ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම බවත් එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *