රට පුරා පසුගිය 17 වැනි දින සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාව ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත යොමු කර තිබෙනවා.
අදාළ වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ එදින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ලබාදෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි බලයක් මිලි තත්ත්පර 450ක් (මිලි තත්ත්පර භාගයකට ආසන්න කාලයක්) ඇතුළත පද්ධතියෙන් අහිමි වී ඇති බවයි.
තත්ත්පර 4.1කින් සම්පූර්ණ පද්ධතියම බිඳවැටී ඇත
මෙම හදිසි බලශක්ති අහිමිවීමත් සමඟ විදුලි පද්ධතියේ සංඛ්යාතය හර්ට්ස් 48.75 දක්වා වේගයෙන් පහත වැටී ඇති අතර, අදාළ සිදුවීම ආරම්භ වී තත්ත්පර 4.1ක් වැනි ඉතා කෙටි කාලයක් ඇතුළත සමස්ත ජාතික විදුලි පද්ධතියම බිඳවැටී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා.
විදුලි පද්ධතියේ සංඛ්යාතය පහත වැටෙන අවස්ථාවලදී එහි ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ක්රියාත්මක වන ස්වයංක්රීය විදුලි බර විසන්ධි කිරීමේ ක්රමවේදයේ (Under Frequency Load Shedding – UFLS) අදියර 05ම එම අවස්ථාවේදී ක්රියාත්මක වී ඇත.
ඒ අනුව මෙගාවොට් 449.2කට සමාන විදුලියක් විසන්ධි වී ඇති අතර, එය බිඳවැටීමට පෙර පැවැති මෙගාවොට් 1,135ක සමස්ත විදුලි ජනනයෙන් 39.6%කට සමාන වුවද මෙම ස්වයංක්රීය පියවර මඟින් විදුලි පද්ධතියේ සම්පූර්ණ බිඳ වැටීම වැළැක්වීමට නොහැකි වී තිබෙනවා.
ජලවිදුලි බලාගාරත් අක්රීය වෙයි
නොරොච්චෝලේ බලාගාරයේ ජනන ඒකකවලට අමතරව, වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, සමනලවැව, ලක්ෂපාන සහ තවත් ජල විදුලි බලාගාර කිහිපයක ජනන ඒකක ද ආරක්ෂක පද්ධති ක්රියාත්මක වීම හේතුවෙන් එකවර අක්රීය වී ඇති බව මෙම වාර්තාවේ සඳහන් වනවා.
පැය 5යි මිනිත්තු 15කින් යථා තත්ත්වයට
විදුලි පද්ධතියේ බිඳ වැටීමෙන් අනතුරුව එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වහා ආරම්භ කළ බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම පවසනවා.
ඒ අනුව ප්රධාන පද්ධති 04ක් භාවිත කරමින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇත –
මහවැලි පද්ධතිය – කොත්මලේ සහ වික්ටෝරියා
ලක්ෂපාන පද්ධතිය – නව ලක්ෂපාන සහ විමලසුරේන්ද්ර ජලවිදුලි බලාගාරය
සමනලවැව / දකුණු පද්ධතිය – සමනලවැව සහ කුකුලේගඟ
කොළඹ පද්ධතිය – කැලණිතිස්ස
මෙම ක්රමවේදයන් යටතේ සියලුම ප්රධාන උපපොළවල් එදින පස්වරු 4:58 වන විට යථා තත්ත්වයට පත් කිරීමට සමත්වී ඇති අතර, සමස්ත ජාතික සම්ප්රේෂණ පද්ධතියම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට පැය 05යි මිනිත්තු 15ක කාලයක් ගතවී ඇත.
කෙසේ වෙතත්, යළි පද්ධතිය ක්රියාත්මක කිරීමේදී යුගදනවි විදුලි බලාගාරයේ උපකාරක පද්ධතියක ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසා එහි මෙහෙයුම් ප්රමාදයක් ද වාර්තා වී තිබෙනවා.
මූලික හේතුව තවම නිශ්චිත නැත
නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් විදුලි බලය හදිසියේ අහිමිවීමට බලපෑ නිශ්චිත මූලික හේතුව මෙම මූලික වාර්තාව මඟින් මෙතෙක් තහවුරු කර නොමැත. මේ පිළිබඳව පුළුල් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.








Leave a Reply