කිසිදු හේතුවක් මත ජාතික මැතිවරණ කල් නොදමා නියමිත පරිදි පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ බුලත්සිංහල ප්‍රදේශයේදී ඊයේ (06) පැවැති ජන රැළියක් අමතමින්.
වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දමමින් ජනමත විචාරණයකට සූදානම් වන බවට විපක්ෂය එල්ල කරන චෝදනාවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ජනමත විචාරණයකදී ජනතාවගේ මතය පිල් දෙකකට බෙදුණ ද ජනාධිපතිවරණයකදී එය පාර්ශ්ව කිහිපයකට බෙදෙන බවයි.
එහි වාසිය ලබාගැනීම සඳහා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නා.
එමෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින නීතිමය බාධා ඉවත් වූ වහාම එම මැතිවරණය ද පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.
“සමහර අය කියනවා, අපි ලෑස්ති වෙන්නේ ජනාධිපති ඡන්දය කල් දාන්නලු. ජනමත විචාරණයක් තියෙන්න යනවාලු. දේශපාලන තර්ක ඥානය ගැන කිසිම අදහසක් නැති අය. ජනමත විචාරණයක් අරන් ආවොත්, දෙකට බෙදෙනවා. කළයයි, ලාම්පුවයි. ජනාධිපතිවරණයක් අරන් ආවොත්, හතර පහට බෙදෙනවා. එහෙම තියෙද්දී අපි ජනාධිපතිවරණය ගේනවා ද?
දේශපාලනය ගැන පොඩි විඥානයක් තියෙන අය දන්නවා. ඡන්දය කල් දාන්න කියලා ජනමත විචාරණ ගේන්නේ නැහැ. ඡන්දය කල් දාන්න කියලා ජනමත විචාරණයක් අරන් ආවොත් මොකද වෙන්නේ? ඡන්දය කල් දාන්න එපා. ඡන්දය කල් දාන්න කියලා පෙරමුණු දෙකක් හැදෙනවා. නයි, පොළගු, මුගටි සේරම නගිනවා ඡන්දය කල් දාන්න එපා කියන තැනට. හැබැයි ජනාධිපතිවරයක් ආවොත්, එහෙම එකතු වෙන්න බැහැ. හැමෝම ඔටුන්න බලාගෙන ඉන්නේ. නියමිත පරිදි මහමැතිවරණය ජනාධිපතිවරණය පවත්වනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි ජනතාවට බය වෙන්න ඕනේ ද? අපි ජනතාව ළගට එනවා.”
මේ අතර යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු නොහරවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ තීන්දුව නුදුරේදීම ලැබෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පළවී තිබෙනවා.
අදාළ අධිකරණ තීන්දුව ලැබීමෙන් අනතුරුව, ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට පියවර ගන්නා බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
“අපි නීති සංශෝධන ඇති කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ඇති කරලා තියෙනවා. අපි බය නැතිව ඉස්සරහට ගේනවා අපි. එතකොට මොනවා වෙන්නේ? කළු නීතියේ රැකවරණයට හිටිය අය බයට පත් වෙනවා. එම්බසී ගාණේ දුවනවා. ලෝකයේ සංවිධානවලට ලියනවා.
මතක තියාගන්න. අපි මේ තීන්දු තීරණ ගන්නේ, ජනතා වෙනුවෙන්. ගන්න කිසි තීන්දුවක් අපි ආපස්සට හරවන්නේ නැහැ. 22 සංශෝධනය ගැන ඉක්මනින් තීන්දුව ලැබෙයි. මං දැක්කා පත්තරවල 18 වගේ දවසක් වාර්තා කරලා තිබුණා. තීන්දුව ලැබුණට පස්සේ ඒක පාර්ලිමේන්තුවට දාලා ඉක්මනින් සම්මත කරගන්නවා.
අපිට මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. එහෙම තමයි මේ කළු රාජ්‍ය බිඳින්න ඕනේ.”







Leave a Reply