Loading...

ඝාතන සිද්ධියකට තවත් චීන ජාතිකයින් දෙදෙනෙක් සීගිරියේදී අත්අඩංගුවට

කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව මෙලෙස එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් තිබූ අතර, පසුව ඔහුගේ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

සිද්ධියට අදාළව මීට පෙර ද සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, ඝාතනයට සම්බන්ධ වී ප්‍රදේශයෙන් පළාගොස් සිටි සෙසු සැකකරුවන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ විමර්ශනයක් සිදුකළා.

එහිදී මෙම සැකකාර චීන ජාතිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මීට පෙර මහජන සහය ද ඉල්ලා සිටියා.

එවන් පසුබිමක් තුළ ඊයේ (28) සීගිරිය ප්‍රදේශයේ අවන්හලක සැඟව සිටියදී මෙම චීන ජාතිකයින් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *