Loading...

ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වන ජන්ම දිනය අද

ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වන ජන්ම දිනය අද

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වැනි ජන්ම දිනය අදට (23) යෙදී තිබෙනවා.

පසුගිය 20 වනදා නාවල පිහිටි සිය නිවසේදී දිවි ගමන නිම කරන විට ඇය 82 වැනි වියේ පසුවූවාය.

1943 අගෝස්තු 23 වනදා අලුත්ගම ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ ඇය, නව යොවුන් වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වුණා.

එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මගපෙන්වීමෙන් ගුවන්විදුලියේ ‘ළමා මණ්ඩපය’ වැඩසටහනට යොමු වූ අතර, එහිදී ගායනා කළ “බුදු සාදු” ගීතය හරහා ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය.

1961 වසරේ “රන්මුතු දූව” චිත්‍රපටයේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකර මහතා සමඟ “ගලන ගඟකි ජීවිතේ” යුග ගීතය ගායනා කරමින් ඇය සිනමා පසුබිම් ගායනයට පිවිසියා.

ජනප්‍රිය වූ නිර්මාණ අතර: “පෙරදා මහ රෑ”, “පහන් කන්ද”, “සත්‍යයේ ගීතය”, “පවන ගී එකතුව”, “හේමන්තයේදී”, “තාරුකා ඇස්”, “පාවෙනා”, “සින්දු හෝඩිය”, “කිඳුරියකගේ විලාපය”, “මඳු බඳුන්”, “හඳහාමි”, “සංඛ පද්ම”, “පෙම්බර ලංකා”, “අරලිය ලන්දට”, “නිලම්බරේ”, “පිරිත් පැන්” සහ “ඔබයි රම්‍ය සඳ කිරණ” ප්‍රධාන වනවා.

දශක ගණනාවක් පුරා කළ මෙහෙවර උදෙසා සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇයගේ අභාවය වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කළ දින තුනක ජාතික ශෝක කාලය (අගෝස්තු 21, 22 සහ 23) අදින් අවසන් වේ.

නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබූ දේහයට දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වූවා.

ඊයේ පස්වරුවේ බොරැල්ල කනත්ත වෙත රැගෙන ආ දේහය, ඇයගේ අන්තිම කැමති පත්‍රයට අනුව කිසිදු උත්සව සභාවක් හෝ ගුණකථනයකින් තොරව ආදාහනය කෙරිණි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *