විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරගත් එකක් නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගත් තීරණයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් සමඟ අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි.
පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එම කරුණු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.
යුක්තිය පසිඳලීම අධිකරණ පද්ධතියට පමණක් සීමා නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, විමර්ශන, නඩු පැවරීම සහ අධිකරණ ක්‍රියාවලිය ඒකාබද්ධව ක්‍රියාත්මක වන බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මානව සම්පත් ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
එමෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවා දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමටත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමටත් රජය සැලසුම් කර තිබෙනවා.
ජනතාවට පහසුවෙන් අධිකරණ සේවා ලබාගැනීම සඳහා අභියාචනාධිකරණ කටයුතු පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට මෙන්ම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.
මෙම ව්‍යවස්ථා සංශෝධනය සමස්ත අධිකරණ පද්ධතියේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත පුළුල් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ එක් කොටසක් පමණක් බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
එය තම පෞද්ගලික මතයක් හෝ රජයේ තනි මතයක් නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
මේ අතර, විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීම සහ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරෝධයක් නොමැති බව නීතිඥ සංගමයේ නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලා පොදු සම්මුතියකට එළඹීම සුදුසු බවද ඔවුන් යෝජනා කර ඇති බව සඳහන්.








Leave a Reply