Loading...

වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට – ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්

කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී වෙළෙඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටී පාවෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

උතුරු අක්ෂාංශ 06°54′ සහ නැගෙනහිර දේශාංශ 079°32′ ආසන්න මුහුදු ප්‍රදේශයේදී මෙම සිද්ධිය වාර්තා වී ඇති බව සඳහන්.

පවතින මුහුදු දියවැල් හේතුවෙන් මෙම හිස් බහාලුම් බේරුවල සිට මීගමුව හරහා පුත්තලම දක්වා මුහුදු තීරය දෙසට පාවී ඒමේ වැඩි අවදානමක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන බහුදින සහ කුඩා ධීවර යාත්‍රාවල නාවිකයින් මෙන්ම එම මුහුදු මාර්ගයේ ගමන් කරන සියලු යාත්‍රා දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

තවද, පාවෙමින් පවතින බහාලුම් නිරීක්ෂණය වුවහොත් ඒ පිළිබඳව වහාම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථානයට හෝ ආසන්නතම ධීවර වරාය නිලධාරීන්ට දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *