Loading...

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට නීතිඥ සංගමයේ ඒකමතික විරෝධය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභාව ඒකමතිකව විරෝධය පළ කර තිබෙනවා.

විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, රැස්වීමට සහභාගී වූ සහ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ සියලු නීතිඥවරු අත් ඔසවා එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි.

විනිසුරුවරුන් පවා මෙම යෝජනාවට විරෝධය පළ කර ඇති බව සඳහන් කළ ඔහු, මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් එල්ල කළ හැකි තීරණයක් බවද පෙන්වා දුන්නා.

ඒ අනුව, යෝජනාවට එරෙහිව ගත හැකි සියලු නීතිමය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කළා.

යෝජිත සංශෝධනය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියම අපහසුතාවයට පත්විය හැකි බව පෙන්වා දුන් ඔහු, නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාවලිය නතර කළ හැකි බවත්, එසේ නොවන්නේ නම් ජනමත විචාරණයකට යොමු කළ යුතු බවත් අවධාරණය කළා.

මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම යෝජනාවට විරෝධය පළ කළද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට රජය මෙතෙක් අවස්ථාවක් ලබාදී නොමැති බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, අද (29) පස්වරු 5ට අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සඳහන් කළ රජීව් අමරසූරිය මහතා, “අපිව අමතක කළත් අපි අපේ යුතුකම ඉටු කරනවා. විවිධ චෝදනා එල්ල වුණත් අපි සැලෙන්නේ නැහැ,” යනුවෙන්ද ප්‍රකාශ කළා.

එමෙන්ම, අධිකරණ අමාත්‍යවරයා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ නම් මෙම කරුණ සම්බන්ධයෙන් මීටත් වඩා දැඩි ස්ථාවරයක සිටිනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *