Loading...

වත්තල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ දැයි සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඉන්දියාවේදී කොටු

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන එම සැකකරුවන් දෙදෙනා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

The Hindu පුවත්පත වාර්තා කරන්නේ, පසුගිය බ්‍රහස්පතින්දා වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ඔවුන් සම්බන්ධ දැයි ශ්‍රී ලංකා බලධාරීන් සැක පළ කරන බවයි.

එමෙන්ම, ඔවුන් දෙදෙනාට එරෙහිව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් ද පවතින බව වාර්තා වනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන් භාරදෙන ලෙස ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

මේ වන විට සැකකරුවන් තිරුචිරාපල්ලි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි විශේෂ රැඳවුම් කඳවුරකට රැගෙන ගොස් ඇති අතර, සතියක් ඇතුළත ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වනවා.

පසුගිය 23 වැනිදා පේසාලේ ප්‍රදේශයේ සිට බෝට්ටුවකින් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාව බලා පිටත්ව ගිය ඔවුන්, ඊයේ (24) අලුයම 4.00ට පමණ ධනුෂ්කෝඩි වෙරළට ළඟා වී තිබෙනවා.

එම බෝට්ටු ගමන සඳහා රුපියල් ලක්ෂ 3ක මුදලක් ගෙවා ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *